Operation Valkyrie

ඉතිහාසය විෂයට අදාළව පවුලේ සැමට එකට සිට නරඹන්න පුලුවන් අන්දමේ චිත්‍රපට ගැන ළමයි නිතරම මගෙන් කරුණු අහන නිසා එවන් චිත්‍රපට ගැන හඳුන්වාදීමක් සමග ඊට අදාල ඉතිහාසය පිලිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමත් මෙම බ්ලොගය මගින් සිදුකළ යුතුයි.
 

චිත්‍රපටය බලන්න කලින් කතා රසය නැති කළ යුතු නැති නිසා අද හඳුන්වා දෙන්න යන Valkyrie නම් චිත්‍රපටය ගැන මූලික කරුණු ටිකක් විතරක් මුලින් කියන්නම්. ඊට පස්සේ ඉතිහාසයට සම්බන්ධ වෙනත් කරුණක් පිලිබඳ කරුණු දක්වන්නම්.

ක්‍රි.ව එක්දහස් නමසිය හතළිස් හතරේ ජූලි මාසේ විසි වෙනිදා ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කිරීම උදෙසා සිද්ද වෙච්ච අවසාන අසාර්ථක කුමණ්ත්‍රණය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. 

මේ කුමණ්ත්‍රණයට ඉහළ මට්ටමේ ජර්මානු නිලධාරීන් රැසක්ම සම්බන්ධ වෙලා හිටියා. මූලික සැලසුම සකස් කිරීම, අවසානය ලගා කර ගැනීම හා සැලසුම අසාර්ථක උවහොත් අනුගමනය කරන පසු සැලසුම ඇතුලු සංකීර්ණ ව්‍යාපෘතියක් එම නිලධාරීන් විසින් සකස් කරන ආකාරය චිත්‍රපටය තුලින් ඉතාම හොඳට ඉදිරිපත් කරනව.

ප්‍රධාන මෙහෙයුම්කරුවා නැතහොත් චරිතය හැටියට ඉස්මතු කරල තියෙන්නේ හිට්ලර් සහභාගී වෙන රැස්වීමකට කාල බෝම්බයක් රැගෙන යාම සිදුකල ක්ලාවුස් වැන් ස්ටෆන්බර්ග් නම් නිලධාරියව.


මේ චරිතය නිරූපණය කරන්නේ සුපිරි රංගන ශිල්පී ටොම් කෲස් විසින්.

අදාල ඉතිහාස කරුණු ගැන හොඳ අධ්‍යයනයකින් යුතුව කරපු චිත්‍රපටියක්..!

බලන්න උනන්දුවක් ඇතිකරවන්න ඕන නිසා චිත්‍රපටයේ රූපරාමුවක් පහළින් එකතු කරන්නම්.



Valkyrie චිත්‍රපටයේ නම ගැන තමයි අනෙක් කතාව.

නෝස්මන් එහෙමත් නැත්නම් උතුරු ජර්මානු වැසියන් විසින් භාවිතා කරපු
සහ පස්සේ ඉංග්‍රීසි භාෂාවටත් එකතු වෙච්ච වචනයක් තමයි Valkyrie කියල කියන්නේ.

උතුරු ජර්මැනික මිත්‍යාවේදයට අනුව Valhalla නමින් හඳුන්වන්නේ මළවුන්ගේ ශාලාව. පින්තූර බලපුවම නම් හිතෙන්නේ වල්හල්ලා කියල කියන්නෙත් දිව්‍යලෝකයක් වගේ තැනක් වෙන්න ඇති කියල තමයි.



පැරණි බෞද්ධ සහ හින්දු විශ්වාස අනුවත් දිව්‍යලෝක කිහිපයක්ම උනත් තියෙන්න පුලුවන්. වල්හල්ලාවේ තත්ත්වය ඊට ටිකක් වෙනස්.

එකම ශාලාවක කොටස් දෙකක් තමයි එතනදි දකින්න ලැබෙන්නේ.

මැරෙන අයගෙන් බාගයක් වල්හල්ලාවේ Odin නම් දෙවියා විසින් පාලනය කරනු ලබන වීරයන්ගේ කොටසට එකතු වෙනකොට තවත් පිරිසක් Freyja නම් දෙවඟන විසින් පාලනය කරනු ලබන සාමාන්‍ය මිනිසුන්ගේ කොටසට ඇතුල් කරනු ලබනවා.

Odin ගේ කොටසට යන වීරයන්ව හඳුන්වන්න භාවිතා කරන්නේ හුදකලා සටන්කරුවා යන අර්ථය ඇති einherja නම් වචනය. වල්හල්ලාව තුල මේ හුදකලා සටන් කරුවන්ගේ ජීවිතය සැපවත් එකක්.

සටන් බිමේදී මිය යා යුත්තේ සහ ජීවත් විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරමින් මිය යන වීරයන් වල්හල්ලාවේ ඔඩින් ගේ කොටසට රැගෙන යාම තමයි Valkyrie කියන මිත්‍යාමය කාන්තා චරිතයට පැවරිලා තියන වගකීම.Valkyrie කියල කියන්නේ හුදකලා කාන්තා චරිතයක් නෙවෙයි. කාන්තා චරිත ගොඩක්.

එයාලගේ රූපයකුත් පහලින් එකතු කරන්නම්. 


යුද පිටියේදී මිය ගියත් වීරයන් වශයෙන් අමරණීයත්වයට පත්වන මිනිසුන්ගේ ආදරවන්තියගේ භූමිකාව ඇය මෙහිදී නිරූපණය කරනව.

Operation Valkyrie මෙහෙයුමෙන් හිට්ලර් බේරුණේ ඉතාම අහම්බයකින්.

ඒ අනුව ජයග්‍රහණය යන්න දෙපාර්ශවයටම ඉතා අවිනිශ්චිත මොහොතක ක්‍රියාත්මක වූ මේ මෙහෙයුමේ ප්‍රධාන කාර්යය, එනම් ජීවත් විය යුතු අය සහ මිය යා යුතු අය තීරණය කිරීම වීරයන්ගේ ආදරවන්තියට භාරදීමේ අර්ථයෙන් Operation Valkyrie යන වචනය භාවිතා වෙන්න ඇති කියල අවසන් වශයෙන් හිතන්න පුලුවන්.

Comments