වෙළඳ සමාගම් සහ 99.99%

විවිධ වෙළඳ සමාගම් තමන්ගෙ නිෂ්පාදන සම්බන්ධයෙන් 99% ක්ම සහතික වෙනව..! එතකොට ඉතුරු 1% ට මොකද වෙන්නෙ..? ඒ තරමටම විශ්වාස නම් ඇයි එයාලට ඉතුරු 1% ගැනත් සහතික වෙන්න බැරි..?


හදිසියේ උද්ගත විය හැකි නීතිමය ගැටළුවකදී සහනයක් බලාපොරොත්තුවෙන් මේ සමාගම් ඒ ඉතුරු 1% හෝ 0.01% හෝ භාවිතා කිරීමට නියමිත බව නීතිය ගැන සාමාන්‍ය හෝ අවබෝධයක් තියන ඕනම කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන..හැබැයි මේ නීතිය සංවර්ධනය වෙලා අද තියන තත්ත්වයට පත් වෙච්ච ආකාරය ඉතාම රසවත් ඉතිහාස කතාවක්..! ගිවිසුම් නීතියේ අතිශය වැදගත් සංකල්පයක්..!

Carlill v Carbolic Smoke Ball Company Case

ක්‍රි.ව 1889 - 1890 කාලෙ හෙම්බිරිස්සා උණ වසංගතයක් පැතිරිලා ගියා..මිලියනයක් විතර මැරුණ..කිසියම් ලෙඩක් පැතිරිල යනකොට එකී රෝගය සුවකිරීම හා සම්බන්ධ වෙළඳ පොළක් නිර්මාණය වෙනව..

කාබොලික් ස්මෝක් බෝල් කියල කොම්පැණියක් තිබ්බ..ඒ අය ක්‍රි.ව 1891 නොවැම්බර් මාසෙ 13 වෙනිදා පෝල් මෝල් ගැසට් කියන පුවත්පතේ දැන්වීමක් පළ කිරීමට තීරණය කළා..ඒ දැන්වීම තමයි ඔය පහල පින්තූරයේ තියෙන්නෙ..



ඒ දැන්වීමේ සහ ස්මෝක් බෝල් හෙවත් දුම් බෝලයේ කතා සාරාංශය මෙහෙමයි,

ස්මෝක් බෝල් කියල රබර් වලින් හදපු බෝලයක් තියනව..ඒක ඇතුළෙ කාබලික් ඇසිඩ් පුරවල තියනව..රබර් බෝලයට සම්බන්ධ කරපු පොඩි බටයකුත් තියනව..මේ බටේ නහයට 
තියල බෝලෙ මිරිකන්න තමයි තියෙන්නෙ.එතකොට අර ඇතුළෙ තියන ඇසිඩ් නහය හරහා සිරුරට යනව..එක බෝලයක් සත දහයයි..නැවත පිරවීම සඳහා සත පහයි..!

ස්මෝක් බෝල් 
කොම්පැණිය තමන්ගෙ නිෂ්පාදනය අලෙවි කරවා ගැනීම සහ එහි ගුණාත්මකභාවය ගැන කරුණු දැක්වීමේ අරමුණින් තමයි ඔය වෙළඳ දැන්වීම හදන්නෙ..සරල දැන්වීමක් උනත් ඒක ඇතුළෙ බොහොම වැදගත් කරුණු කීපයක් තියනව..

- දිනකට තුන් වරක් බැගින් සති දෙකක් තිස්සේ දුම් බෝලය භාවිතා කිරීම හරහා වසංගතයට ගොදුරු නොවී සිටීමට ඇති හැකියාව

- ඉහත දැක්වෙන අන්දමට දුම් බෝලය භාවිතා කිරීමෙන් පසුව උණ හෙම්බිරිස්සාව වැළඳුනහොත් සමාගම මගින් පවුම් 100 ක් ගෙවීමට එකඟ වීම ( මේ වටිනාකම අද කාලෙ හැටියට නම් ස්ටර්ලින් පවුම් 11.000 ක්..! )

- එකී කරුණ තහවුරු කිරීම සඳහා රීජන්ට් වීදියේ පිහිටා ඇති එලායන්ස් බැංකුවේ පවුම් 1000 ක් තැන්පත් කිරීම.

මූලික කරුණු ටික ඉවරයි..

ලුයිසා එලිසබෙත් කාලයිල් මහත්මිය මේ දුම් බෝලය අදාළ සමාගම විසින් නියම කරපු හැටියටම භාවිතා කරා..ඒත් එයාට උණ හෙම්බිරිස්සාව හැදුන..ඒ නිසා ඇයගේ නීතීඥ සැමියා මාර්ගයෙන් සමාගම විසින් ලබාදීමට පොරොන්දු වෙච්ච පවුම් 100 ක මුදල අවස්ථා දෙකකදී ඉල්ලා හිටිය..ඒ මුල් ලිපි දෙකම සමාගම වීසින් නොසළකා හැරිය..තුන්වෙ
නි ලිපියට පිළිතුරක් ලබාදෙමින් දුම් බෝලයේ නිරවද්‍යතාවය පිළිබඳ සහතික බවත්, එය නිසිලෙස භාවිතා කළ යුතු බවත්, කාලයිල් මහත්මිය තම සමාගමට පැමිණ නිවැරදිව එය භාවිතා කළ යුතු බවත් සඳහන් කරමින් ලිස්සා යන අන්දමේ පිළිතුරක් ලබා දුන්න..

කාලයිල් මහත්මිය නඩුවක් දැම්ම..ඒ නඩුවේදී ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වෙච්ච ගිවිසුම් නීතිය හා සම්බන්ධ කරුණු කීපයක් තියනව..

දුම් බෝලය විකිණීම හා දැන්වීමක් පළකිරීම මගින් සමාගම කරන්නෙ අර්පණයක් ( Offer ) එහෙමත් නැත්නම් විකිණීම සඳහා කරනු ලබන ආරාධනාවක්..ඒ අර්පණය කාලයිල් මහත්මිය විසින් ප්‍රතිග්‍රහණය ( Acceptance ) කරනව..සරල ගිවිසුමක් නිර්මාණය වෙනව..නමුත් මේ වෙලාවේ ඒ අර්පණය සහ ප්‍රතිග්‍රහණය කියන කාරණය තරමක් සංකීර්ණ වෙනව..ඇයි..? Consideration හෙවත් අදාළ අර්පණය ප්‍රතිග්‍රහණය කිරීම සම්බන්ධයෙන් සළකා බැලීම හෙවත් සිතා බැලීම සම්බන්ධයෙන් දුම් බෝල සමාගම විසින් ලබාදෙනු ලබන සහතිකය හරිම වැදගත්. පවුම් 100 ක්..! ඒ පවුම් 100 සඳහා සහතික වීම වෙනුවෙන් එලායන්ස් බැංකුවේ තැන්පත් කරන ලද පවුම් 1000 ක්..!

පසුකාලීනව එංගලන්තයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරපු ඔක්ස්ෆෝඩ්හී අර්ල් ඇස්කෙත් සාමිවරය තමයි දුම්බෝල සමාගමේ නීතීඥවරයා..මේ දැන්වීම සහ එහී අන්තර්ගත කරුණු එතරම් සංකීර්ණ ගිවිසුමක් නිර්මාණය නොකරන බව තමයි එතුමාගේ මූලිකම තර්කය වෙන්නෙ..අනිත් අතට කාලයිල් මහත්මිය මේ දුම් බෝලය නිවැරදිව භාවිතා කරාද නැද්ද යන කාරණය ගැටළු සහගත බවත් සඳහන් කරනව..

සාරගර්භ කරුණු දැක්වීම්වලින් අනතුරුව ගරු අභියාචනාධිකරණය අදාළ දැන්වීම හරහා සමාගම සහ කාලයිල් මහත්මිය අතර ඉතා සංකීර්ණ ගිවිසුමක් නිර්මාණය වී ඇති බවත් තම නිෂ්පාදනය පිළිබඳ සමාගම දැඩි විශ්වාසයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කරමින් කාලයිල් මහත්මියගේ වාසියට තීන්දුව දෙනව..!

අන්න ඒ නිසා තමයි අදටත් ඔය විවිධ සමාගම් තමන්ගෙ නිෂ්පාදන ගැන 99.99% ක් ආදී මට්ටමෙන් සහතික වෙන්නෙ..මොකක් නමුත් අනතුරක් උනොත් ඒ කාරණය අර ඉතුරු වෙච්ච 0.01 න් ආවරණය වෙනව..!

Comments