ග්‍රීක මිත්‍යා කතා - බලාපොරොත්තුව

මේ කතාව නම් සමහර විට ගොඩක් අය අහලත් ඇති.

කතාව අන්තර්ගත වෙන්නේ හෙසියඩ් කියන ග්‍රීක ලේඛකයගේ වැඩ සහ දවස් කියන කෘතියේ.

ග්‍රීක දිව්‍ය ලෝකේ රජතුමා එහෙමත් නැත්නම් මහ දෙවිඳු තමයි සියුස්. පහල පින්තූරයේ ඉන්නේ සියුස්, එයාගේ කැමතිම අවිය වෙන අකුණු ඊයත් සමග.


සියුස්

හෙපිස්ටස් (Hephaestus) කියන්නේ සියුස්ගෙම පුතෙක්. අපේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වගේ ග්‍රීක දෙවිවරු අතර ඉන්න අලුත් අලුත් ගැජමැටික්ස් හදන වැඩකාරය තමයි හෙපිස්ටස්.

හෙපිස්ටස්

දවසක් සියුස් හෙපිස්ටස් ට නියෝගයක් දෙනව තමන්ට දුවෙක්ව හදල දෙන්න කියල.

සියුස්ට ඕන වෙන්නේ දේව දූතිකාවක් හදන්න නෙවෙයි ලෝකයේ මුල්ම ස්ත්‍රිය නිර්මාණය කරන්න. ඒ වැඩේ හරියටම කරන්න ඕනේ නිසා තමයි හෙපිස්ටස් ට වැඩේ බාර දෙන්නේ.

හෙපිස්ටසුත් හොඳට කල්පනා කරල මැටි වලින් තරුණියක් හදල සියුස්ට බාර දෙනව. සියුස් එයාට ජීවය ලබා දෙනව. ඒ තමයි පැන්ඩෝරා.

ඊට පස්සේ සියුස් පැන්ඩෝරා ව පොළොවට එවනව.

දිවිය ලෝකේ ලොක්ක උනාට සමහර වෙලාවට සියුස්ගේ තිබුණේ මහ ජරා ගති..!

පැන්ඩෝරට පොළොවෙදි කසාද බඳින්න වෙන්නේ එපිමතියස් (Epimethius) කියන මනුස්සයව බව සියුස් දන්නව. මේ එපිමතියස් කියන්නේ දෙවියන්ගෙන් ගින්දර හොරකම් කරපු ප්‍රොමිතියස්ගේ සහෝදරයා. ඒ නිසා සියුස්ට මේ සහෝදරයෝ දෙන්න ගැනම හිතේ පොඩි කහටක් තිබ්බ.

ප්‍රොමිතියස් හරි එපිමතියස් හරි දෙන්නගෙන් එක්කෙනෙක් උගුලට අහු කර ගන්න බලාගෙන සියුස් පැන්ඩෝරට පොඩි පෙට්ටියක් දෙනව. පෙට්ටියක් කිව්වට මේක ටිකක් ජොග්ගුවක් වගේ එකක් කිව්වොත් වඩා නිවැරදියි. ලොකු ඉබ්බෙකුත් දාල දෙන්නේ.

සියුස් පැන්ඩෝරව පොරොන්දු කර ගන්නවා කවදාවත් ඒක විවෘත කරන්නේ නැහැ කියල. ඊට පස්සේ ඒක අගුළු දාපු ඉබ්බ ගේ යතුර දෙනව එපිමෙතියස්ට.

කුතුහලේ වැඩි වෙලා එපිමෙතියස් හරි ප්‍රොමිතියස් හරි මේක විවෘත කරයි කියන එක තමයි සියුස් ගේ බලාපොරොත්තුව.

ඒ උනාට
එපිමෙතියස්ට අනිත් අයගේ ජොග්ගු ඇර ඇර බලන්න ඒ තරම් උවමනාවක් තිබ්බෙම නැහැ. මිනිහ දන්නව මාමණ්ඩි නීල කට්ටයෙක් බව.

ඒත් පැන්ඩෝරා වෙනස්. ආපු දවසේ ඉඳල එයාට නිවනක් නෑ මේ පෙට්ටිය ඇරල බලන කං...! ඒත් යතුර තියෙන්නේ තමංගේ ස්වාමි පුරුෂය අතේ....! ඉතිං අර අහිංසක මනුස්සයට බේරුමක් නෑ පැන්ඩෝර ගෙන් මේක ඇරල බලමු කියල.

ඒත් එපිමෙතියස් මේකට වැඩි මනාපයක් නෑ..ඒ නිසා පැන්ඩෝරගේ උත්සාහය අසාර්ථක වෙනව.

එක දවසක් එපිමෙතියස් නිදාගෙන ඉන්න වෙලාවක් බලල පැන්ඩෝර පෙට්ටියේ යතුර උස්සනව. කුතුහලේ වැඩිකමට පෙට්ටිය ඇරලත් බලනව.

පෙට්ටිය ඇරිය විතරයි....! ඒක ඇතුළේ තිබ්බ දේවල් පියාඹලා එළියට යන්න පටං ගන්නව.

මොනවද ඒක ඇතුළේ තිබුණේ....?

ඊර්ෂ්‍යාව, වෛරය, වසංගත සහ වෙනත් ලෙඩ රෝග වගේ අදටත් ලෝකය පීඩාවට පත් කරන දේවල් තමයි එළියට ගියේ..


මෙන්න මේ වගේ සිද්ධියක් තමයි වෙන්න ඇත්තේ

මේවා දැකපු ගමං කලබල වෙච්ච පැන්ඩෝරා ඉක්මනට පෙට්ටිය වහනව. ඒත් ඉතිං එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

එපිමෙතියස් ඇහැරුනාට පස්සේ පැන්ඩෝර වෙච්ච දේ කියනව. හැම නරක දෙයක් ම ලෝකයට ගිය බවත් පෙට්ටිය දැං හිස් බවත් කියනව. ඒක තහවුරු කරල පෙන්නන්න පැන්ඩෝරා ආයෙමත් පෙට්ටිය විවෘත කරල පෙන්නනව.

හැම දෙයක්ම එළියට ගියා කියල හිතුවට එක දෙයක් ඉතුරු වෙලා තියන බව එතකොට පැන්ඩෝර දකිනව.

ඒ තමයි බලාපොරොත්තුව.

අද අපි ජීවත් වෙන ලෝකේ ඊර්ෂ්‍යාව, වෛරය, කුහක කම, රෝග පීඩා ආදිය පිරිල තියන තැනක්. මේව නිසා මිනිස්සු ගොඩක් කරදරයට පත් වෙනව. පරාජය වෙනව.

නමුත් ඒ අතරෙම 
අහම්බෙන් ඉතිරි වෙච්ච බලාපොරොත්තු කියන දේ අපිව ජීවත් කරවන්න, වැටුනම ආපහු නැගිට්ටවන්න තවමත් මහන්සි වෙනවා..!

Comments

Post a Comment