රඹුක්පොත මහ වලව්ව
බදුල්ලෙ ඉඳල පස්සර පාරේ කිලෝ මිටර් දෙකක් විතර යනකොට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය හම්බ වෙනව..එතනින් වමට තියන රඹුක්පොත - මලංගමුව පාරෙ ටික දුරක් යනකොට ඔය පහල පින්තූරයේ දක්නට ලැබෙන ඉදි කිරීම දක්නට ලැබෙනව..ඒක තමයි රඹුක්පොත මහ වලව්ව.
වලව්ව බොහොම අබලන් උනත් රඹුක්පොත පරම්පරාවෙ ඉතිහාසය නම් හරිම ශක්තිමත්.
" ශාක්‍ය වංශ මහා බෝධිනායක රඹුක්පොත සෙනෙවිරත්න " තමයි ඒ පරම්පරාවේ පෙලපත් නාමය..ලංකාවේ බොහොමයක් පැරණි පවුල් සංඝමිත්තා තෙරණිය සමග පැමිණි බෝධාහාර කුල හා සම්බන්ධ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක්..ඒත් ඒ ගැන කිසිම නිශ්චිත එකඟතාවයක් ඇතිකර ගන්න අමාරුයි..
ඒ කරුණු එහෙම උනත් ක්‍රි.ව 1560 - 70 තරම් ඈත කාලයක ඉඳල රඹුක්පොත පරම්පරාව ගැන තොරතුරු වාර්තා වෙනව..ඒ කාලයේ ජීවත් වෙච්ච " රඹුක්පොත සැතපෙනගේ නිළමේ " නම් තනතුරු නාමයක් පිළිබඳව සඳහන් වෙලා තියනව..
රඹුක්පොත පරම්පරාවේ මුල්ගම හැටියට සැලකෙන්නේ උඩුදුම්බර..මේ පරම්පරාවෙ අය බදුල්ලෙ ස්ථාවර වෙන්නෙ කුමන කාලයකදී ද කියන එක ගැන නිශ්චිතව කියන්න බැහැ. නමුත් 1630 දී රන්දෙණිවල සටනට සහය ලබාදුන් ඌවේ සහ මාතර දිසාවේ තනතුර දැරූ " රම්පොට් අධිකාරම ' නම් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියනව..ඒ වගේම ඌවේ කුමාරසිංහ රජු ගැන කතා කරන තැන්වල " රඹුක්පොත සෙනෙවිරාජ " නම් පුද්ගලයෙක් පිළිබඳවත් සඳහන් වෙනව..මේ දෙන්නම එක්කෙනෙක් වීමට තියන සම්භාවිතාවය වැඩියි..ඇතැම් විට ඒ පරපුරේ සමහර අය ඒ කාලෙම බදුල්ලෙ පදිංචියට එන්න ඇති..
එතකොට මේ ඡායාරූපයේ තියන මහ වලව්ව කොච්චර පරණද කියන එක ගැනත් හොයල බලන්න වෙනව..
ක්‍රි.ව 1740 දි පස්සර බිබිලේගම ප්‍රදේශයට ලන්දේසි ආක්‍රමණයක් එල්ල වෙනව..ඒ අය මේ ස්ථානයේ තිබ්බ පරණ වලව්ව ගිනි තියනව..රඹුක්පොත සෙනවිරත්න කියන ඒ කාලෙ හිටපු නිළමෙතුමා විසින් ඒ සටනෙදි අල්ලගන්න යුද සිරකරුවො දම්මල නැවත මේ වලව්ව නිර්මාණය කරවන්න කටයුතු කරනව..
ඒ නිළමෙතුමාගෙ පුතා තමයි පසුකාලීනව ඌවේ මහ දිසාවේවරයා රුහුණු මහ කතරගම දේවාලයේ බෙත්මේ හෙවත් බස්නායක නිළමේ වශයෙන් කටයුතු කරන රඹුක්පොත මහ දිසාව..උඩරට රාජධානියේ අවසාන කුරුවේ ( ඇත් පංතියේ ) ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නෙත් එතුමාම තමයි..!
එතුමාගේ සහෝදරියට ක්‍රි.ව 1767 දි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සන්නසක් ලබා දෙනව..
" රඹුක්පොත සෙනවිරත්න මුදලියාගේ දෝණියැන්දෑ වන වාසනාහාමි එතනා..පල්ලේමහ වාහලට පක්ෂපාතව සොඳ සිතින් දුක්ගෙන සිටින නිසා.."
ආදී වශයෙන් සටහන් කරමින් අමුණු 158 ක්..ඒ කියන්නෙ අක්කර තුන්සිය විස්සකට ආසන්න එමගින් ප්‍රදානය කරනව..අන්න ඒ භූමියෙ තමයි ඔය වලව්ව පිහිටල තියෙන්නෙ..
1818 උඩරට මහ කැරැල්ලෙදි රඹුක්පොත පවුලෙ අය බහුතරයක් මොණරවිල කැප්පෙටිපොල ප්‍රමුඛ සටන්කාමීන්ට සහය දක්වනව..කැටකෑලේ කුමාරිහාමි කසාද බැඳල හිටපු කැටකෑල මොහොට්ටාලත් රඹුක්පොත පවුලට අයිති කෙනෙක්..
නිදහස් සටන සඳහා රඹුක්පොත පවුලේ දායකත්වයක් තිබ්බ උනත් ඉංග්‍රීසි පාලකයො ඒ පවුලෙ අනිත් අයට සඳහා වෙන්කරල තිබ්බ වරප්‍රසාදවලට අත තියන්නෙ නෑ..
ඉන් අනතුරුව ලොකු බණ්ඩා රඹුක්පොත සහ කුඩා බණ්ඩා රඹුක්පොත සහෝදරවරුන්ගේ නායකත්වය යටතේ තමන් සතුව තිබූ බලය ඉංග්‍රීසි පාලකයන් යටතේ ද තහවුරු කර ගැනීමට ඒ අයට හැකියාව ලැබෙනව..!
රඹුක්පොතවරු කියන්නෙ මාම්පිටිය, පරණගම, කටුගහ, රත්වත්ත, දිඹුලන, ඇලපාත, මඩුගල්ල ආදී ලංකාවේ බොහෝ ජනප්‍රිය පවුල් සමග නෑකම් කියන්න පුලුවන් තරමේ අති විශාල පවුල් ගහක්..
ඔක්කොම කියන්න බෑ..බොහොම ජනප්‍රිය අය දෙන්නෙක් ගැන විතරක් කියන්නම්..!
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ බිරිඳ සෙනෙහෙලතා රඹුක්පොත..මහාචාර්ය සිරාන් දැරණියගලගෙ ආච්චි අම්ම ස්වර්ණලතා රඹුක්පොත..!
මේ වලව්ව ගැන අපි කරපු යූටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.
මූලාශ්‍ර - Four Kandyan Families: A Genealogical Study (1600-2000)
by Sunil. J. Madugalleස්තූතිය - සුනිල් රඹුක්පොත, බ්‍රයන් රඹුක්පොත, ලජ්ජිතිස්ස රඹුක්පොත
Comments
Post a Comment