බදුලු කතරගම මහ දේවාල පුරාණය
මේ කතාවේ කොණක් පාද ගන්න නම් ක්‍රි.ව 1580 තරම් ඈත කාලෙකට යන්න වෙනව. මේ වෙනකොට මුහුදුබඩ ප්‍රදේශවල තමන්ගේ බලය තහවුරු කරගෙන හිටපු පෘතුගීසීන්ගේ බලපෑම නිසා සහ රටේ අභ්‍යන්තර දේශපාලන ආරවුල් නිසා ලංකාව කියන දූපත ඇතුළේ ප්‍රධාන රාජධානි හතරක් නිර්මාණය වෙලා තිබ්බ.
පෘතුගීසි හිතවාදී දොන් ජුවන් ධර්මපාල රජතුමා යටතේ තිබ්බ කෝට්ටේ රාජධානිය, පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ටිකිරි කුමාරයා හෙවත් පළවෙනි රාජසිංහ රජතුමා යටතේ තිබ්බ සීතාවක රාජධානිය, පෘතුගීසීන් විසින් පාලනය කරපු යාපනය රාජධානිය සහ කරලියද්දේ බණ්ඩාර රජු යටතේ පාලනය වෙච්ච උඩරට රාජධානිය තමයි ඒ රාජධානි හතර.
ක්‍රි.ව 1582 කාලේ වෙනකොට සීතාවක රාජසිංහ ගේ බලය උපරිම මට්ටමකට ඇවිල්ල තිබ්බ නිසා උඩරට රාජධානියට එරෙහිව ආක්‍රමණයක් දියත් කරන්න ඔහු තීරණය කරනව. මේ වෙලාවෙ අසරණ වෙන උඩරට කරලියද්දේ බණ්ඩාර රජතුමා පෘතුගීසීන් ලගට පැනල යනව. තනියම නෙවෙයි. තමන්ගේ අග බිසව, පුතා, බෑණා යමසිංහ බණ්ඩාර සහ දියණිය වෙච්ච කුසුමාසන කුමරියත් එක්ක.
කරලියද්දේ රජුගේ පලා යාමෙන් හිස්වෙන උඩරට පාලක තනතුරට සීතාවක රාජසිංහ විසින් පත් කරන්නේ වීරසුන්දර බණ්ඩාරව. වීරසුන්දර බණ්ඩාර පේරාදෙණිය රජ පෙළපතින් පැවත එන බව රාජාවලියේ සඳහන් වෙනව. පසුකාලීනව ලියවෙච්ච ශ්‍යාමෝපසම්පදා නම් කෘතියට අනුව ඔහු පැවත එන්නේ ගම්පොළ රජ පෙළපතින්. නමුත් සමකාලීන මූලාශ්‍ර එකකින්වත් මේ මතයන් එකක්වත් තහවුරු වෙන්න නෑ. රාජකීය පෙළපතකින් එන කෙනෙකුට රජකම දෙන එක රාජසිංහගේ පැත්තෙන් සිද්ධ උනා කියල හිතන්නත් අමාරුයි.
ගොවි වංශිකයෙක් උනාට ටික කාලයක් යනකොට වීරසුන්දර බණ්ඩාර උඩරට තම බලය තහවුරු කර ගන්න උත්සහ කරන බව දැකපු සීතාවක රාජසිංහ බොරු වළක වැටෙන්න සලස්වල වීරසුන්දර බණ්ඩාරව මරල දානව. මේ සිදුවීමෙන් පස්සේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වෙච්ච කොණප්පු බණ්ඩාරත් පෘතුගීසීන් ලගට පැනල යනව.
මම හිතන හැටියට කොණප්පු බණ්ඩාර බදුල්ලට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථාවෙ වෙන්න ඕන.
බදුල්ලේ මහ කතරගම දේවාලය මගින් මුද්‍රණය කරල තිබ්බ සටහනක දැක්වෙන ආකාරයට 1602 " බලන " සටනින් පැරදිල තමයි කොණප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූරිය බදුල්ලට එන්නේ.නමුත් බලන සටනින් පැරදුණේ පෘතුගීසින් මිස විමළධර්මසූරිය රජතුමා නොවෙන නිසා ඒ කතාව කොහොමත් පිළිගන්න බෑ.
තවත් මතයකින් කියවෙන ආකාරයට විමළධර්මසූරිය රජතුමා බදුල්ලට එන්නේ ක්‍රි.ව 1594 දි දන්තුරේ සටනින් පේරෝ ලෝපෙස් ද සූසා ප්‍රමුඛ පෘතුගීසි හමුදාව පරාජය කරල එවකට උඩරට රාජධානියේ ඔටුන්න හිමි කුමරිය වෙච්ච කුසුමාසන දේවිය පැහැරගත්ත අවස්ථාවෙදි. වැඩි ආරක්ෂාවට තමයි එයාල ඒ අවස්ථාවෙදි බදුල්ලට එන්නෙ. ඒ කතාව හරි.
නමුත් කොණප්පු බණ්ඩාර හෙවත් පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා මුලින්ම බදුල්ලට එන්නේ ඒ අවස්ථාවෙදි කියල පිළිගන්න අමාරුයි.
කතරගම, මහ කතරගම දේවාලේ ආවතේවකම් කරමින් හිටපු සොරණාතොට පැත්තට නෑකම් කියපු පිරිසක් ඊටත් සෑහෙන කාලෙකට කලින් මහ කතරගම දේවාලෙන් ඉල්ල ගත්ත ආභරණ කිහිපයක් අරගෙන බදුල්ලට ආවලු. එයාල පදිංචි උනේ වර්තමාන කෝට්ටගොඩ ප්‍රදේශයේ කියල ජනප්‍රවාදයක් තියනව.
බදුල්ල කතරගම දේවාලය මුලින්ම තිබිල තියෙන්නේ එතන.
ආරක්ෂාව පතාගෙන බදුල්ලට ආපු කොණප්පු බණ්ඩාර වර්තමාන ස්ප්‍රිංවැලි පාරෙන් හැරිල යන්න පුලුවන් ගල්ගේපිටිය පන්සලේ ටික දවසක් නතර උනාලු. කෝට්ටගොඩ කතරගම දේවාලේ ගැන අහපු එතුමා තමන්ට මේ කෙළවරක් නැති සටන් වලින් ජයග්රහණය කරල උඩරට බලය තහවුරු කර ගන්න ලැබෙන්න කියල කෝට්ටගොඩ තිබ්බ ඒ පොඩි දේවාලෙට බාරයක් උනාලු.බාරය තමයි තමන්ගේ පැතුම ඉටු උනොත්, දේවාලය එතනින් බදුල්ල නගරයට අරන් ගිහින් ගොඩ මඩ ඉඩම් සහිතව දියුණු කරන එක. ගල්ගේපිටිය පුරාණ ලෙන් විහාරය ගැන අපි කරපු යූටියුබ් වැඩසටහන හරහා ඒ ගැන කතා කරල තියනව.
පස්සේ එතුමත් පෘතුගීසින් ලගට පැනල ගියා.
කලින් සඳහන් කරපු සීතාවක රාජසිංහගේ උඩරට ආක්‍රමණය අවස්ථාවෙදි පෘතුගීසීන් ලගට පැනල ගිය කරලියද්දේ රජතුමා, අග බිසව සහ එකම පුතා වසූරිය හැදිල මැරුණ. යමසිංහ බණ්ඩාර බෑණයි කුසුමාසන කුමාරියි විතරයි ඉතුරු උනේ. දැන් කොණප්පු බණ්ඩාරත් පෘතුගීසින්ගේ ආරක්ෂාව ඉල්ලනව.
පෘතුගීසීන් මේ තුන්දෙනාම කතෝලිකයන් හැටියට බෞතීස්ම කරනව. කුසුමාසන දේවිට මේ වෙනකොට වයස අවුරුදු හතරක් පහක් විතර ඇති.එයාව හදාවඩා ගන්න කතෝලික පවුලකට බාරදෙනව.
යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් සහ කොණප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන් දෙන්නම උඩරට රජකමට ඇහැ ගහගෙන ඉන්නෙ. සීතාවක රාජසිංහ ක්‍රි.ව 1590 දි කෝට්ටේ පෘතුගීසි බලකොටුව වැටලීමත් සමග ඔහුට එරෙහි නව යුද පෙරමුණක් උඩරටින් නිර්මාණය කළ යුතු බව තීරණය කරන පෘතුගීසීන්,කොණප්පු බණ්ඩාරයි යමසිංහ බණ්ඩාරයි ඉස්සරහට දාගෙන උඩරට ආක්‍රමණය කරල ක්‍රි.ව 1591 දි යමසිංහ බණ්ඩාරව උඩරට රජතුමා බවට පත් කරනව.
ටික කාලෙකින් විෂක් ශරීරගත වෙලා යමසිංහ බණ්ඩාර මැරෙනව. මේ ඝාතනයේ සැකය එල්ල වෙන්නෙත් කොණප්පු බණ්ඩාරටම තමයි.
මේ මරණයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලාගේ හා උඩරට ප්‍රභූවරුන්ගේ සහය ලබාගත්ත කොණප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන් පළමුවෙනි විමලධර්මසූරිය නමින් උඩරට රජකමට පත්වෙනව. සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයත් මේ කාලෙදිම සිද්ද වෙනව.
නමුත් පළමුවෙනි විමලධර්මසූරියට රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් තිබ්බ ගැටළුව විසඳෙන්නේ ක්‍රි.ව 1594 දන්තුරේ සටනෙ දි කුසුමාසන දේවිය අත්පත් කර ගැනීමත් සමග. කුමාරිකාවට ඒ වෙද්දි වයස අවුරුදු දාහතරක් විතර වෙන්න ඇති.
මහනුවර මේ වෙද්දි තරමක් අනාරක්ෂිත නිසා රජතුමා නැවත වරක් බදුල්ල තමන්ගේ රැකවරණය සඳහා තෝර ගන්නව.
කෝට්ටගොඩ තිබ්බ දේවාභරණ බදුල්ලට වැඩමවල අලුත් දේවාලයක් හදල තැන්පත් කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කරන්නේ ඒ අවස්ථාවෙදි වෙන්න ඕන. මේ වෙනකොට රජතුමාට තිබ්බ ප්‍රශ්නත් සෑහෙන ප්‍රමාණයක් විසඳිලා ඉවරයි වගේ තමයි.
දේවාලයේ වැඩකටයුතු අවසන් වීමත් සමග රජතුමා දේවාලයට ඉඩකඩම් පූජා කරනව. අදටත් බදුල්ල නගරයේ තියන ඉඩම් වලින් සෑහෙන කොටසක් කතරගම දේවාලෙට අයිතියි. ගොඩක් ඉඩම් තියෙන්නේ බදුල්ල නගරය තුළමයි. මේ ඉඩම් වෙනුවෙන් ලැබෙන බදු මුදල් දේවාලයේ බණ්ඩර පංගුව හෙවත් ප්‍රධාන නිලධාරීන් වෙනුවෙන් වෙන් වෙනව.
රාජකාරි කරන අය වෙනුවෙන් කෝට්ටගොඩ ප්‍රදේශයේ ඉඩම් වෙන්කරල තියනව. බොහොම කැපවීමෙන් තමන්ට පැවරුණු ඓතිහාසික රාජකාරිය ඉටුකරන පිරිසක් තවමත් ඒ ප්‍රදේශයේ ඉන්නව. විහාර හා දේවාලගම් පනතට අනුව බස්නායක නිළමෙටවත් ඒ තනතුරු වලට අත තියන්න බෑ.
දෙවැනි රූපයේ තියන දිග්ගෙය නිර්මාණය කළේ 1630 දි බදුල්ල නගරය කොල්ලකාපු පෘතුගීසින්ව රන්දෙණිවෙලදි අන්ත පරාජයකට ලක් කරපු දෙවනි රාජසිංහ රජතුමා විසින්.
බදුල්ල කතරගම දේවාලෙ දිග්ගෙය තමයි ලංකාවෙ දේවාලයක දකින්න ලැබෙන දිගම දිග්ගෙය.
ඉස්සර පෙරහැර තියන කාලෙට මේ දිග්ගෙය මුල්කරගෙන දිග්ගෙයි නැටුම කියල එකක් රඟ දැක්වුවලු. ඒක බොහොම ලාස්‍ය නර්තන වින්‍යාසයකින් යුක්ත නැටුමක්ලු. ඒක නටන්නේ තරුණ කාන්තාවෝ උඩුකය නිරුවතින් ලු....!
අන්තිම පින්තූරේ තියෙන්නේ තව ටික දවසකින් රේඛා ටිකත් මැකිල ගිහිල්ල නැත්තටම නැති වෙලා යන්න නියමිත පැරණි චිත්‍ර ටිකක නෂ්ටාවශේෂ.
බදුලු කතරගම දේවාලය ගැන අපි කරපු යූටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.
Comments
Post a Comment