මග සළකුණ හෙවත් බදුලු මගියාගේ සෙංකඩගල වන්දනාව - තුන්වන කොටස
සපුගොල්ලේ සිට..
ලූල් පෙටින් ගසමින් දල හරන විටින්
දූල් පටින් බඳිමින් රැගෙන යන අටින්
ලීල් දිටින් දල සර සිටින දිගු විටින්
හාල්තොටින් යා කර සබඳ සිත තුටින්
ඉහත පැදි කිහිපයට අනුව සපුගොල්ලෙන් පිටත්වන අප මගියා හාල්තොට නමින් හඳුන්වන ලද ස්ථානයක් පසුකළ යුතුය. ඉන් අනතුරුව පරණගමට පිවිසෙන ඔහු යොනුන් හෙවත් කාන්තාවන් විසින් කරවල, ලුණු ආදිය විකුණනු ලබන තවලම්පොල නම් ස්ථානය පසුකරමින් දොඩන්වතු කපොල්ල නම් ස්ථානය වෙත ලඟාවිය යුතුය.
මෙනේ තොසින් ගොඩනැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් දුටු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌව තුන්කිඳ අතැඹුල ලෙසට
එහි සිට තමන් පැමිණි මාර්ගය දෙස නැවත හැරී බැලීමේදී උඩුකිඳ, යටිකිඳ සහ මැඳකිඳ නමින් හඳුන්වනු ලබන ඌව රටට අයත් සියලු ප්‍රදේශ ඉතා හොඳින් දර්ශනය වන බව කවියා පවසයි. ඒ අනුව දොඩන්වතු කපොල්ල තරමක් උස් ස්ථානයක් විය යුතුය.
දොඩන්වතු කපොල්ලෙන් පසුව අප මගියාට හමුවන්නේ කඩු සහ තෝමර සහිතව ආරක්ෂක රාජකාරියේ නියුතු සෙබලුන් සහිත කඩවත නම් ස්ථානයටය.
කඩවත සිට මතුරට නම් ස්ථානය දක්වා අප මගියාට ගමන් කිරීමට සිදුවන්නේ ඝන වනාන්තරයක් මැදිනි. මග සළකුණ කෘතියේ කවි තිහක් පමණ එකී " වන වර්ණනාව " වෙනුවෙන් වෙන්කොට ඇත.
මෙම මාර්ගයේ වනාන්තරය තුළින් ගමන් කරන අප මගියා අළුගල්ගෙය, වලහා මැරූ පතන, හාල්ගරන් ඔය, එළමල් කඳුර, කුඩා නාම්බා හෙල, නැබළ නාම්බා හෙල, දඬු බැඳි රුප්ප, කුරුඳු ඔය, රත්මල්කරාන, කුරුවිට රාල පැන්න ගල සහ ඕලුවා මංකඩ ආදී නම්වලින් හඳුන්වනු ලබන ස්ථාන පසුකරමින් තරමක් ජනාකීර්ණ ස්ථානයක් ලෙස සැලකිය හැකි කුඩම්මා කලවිට නම් ස්ථානය කරා ළඟා වේ.
සිරිසර බැඳන ඔපකර වරලස පෙම්මා
මනහර දෙතන රන් කලයුරු රුවිම්මා
නිසිසර සිටින රුසිරෙන් සේ සුරම්මා
පසුකර යා ගන්න කලවිට කුඩම්මා
නමුත් අවාසනාවකට හාල්ගරන් ඔය සහ කුරුඳු ඔය හැරුණුවිට ඉහත සඳහන් කිසිදු ස්ථානයක් අදවන විට පැහැදිලිව හඳුනාගත නොහැකිය. ක්‍රි.ව 1812 ඉඩම් පනත සහ වතු වගාව හේතුවෙන් මෙම ප්‍රදේශ එලිපෙහෙළි වී කෝපි සහ තේ වගාව වෙනුවෙන් වෙන්වූ බැවින් පැරණි ග්‍රාම සහ ස්ථාන නාම සියල්ල අභාවයට පත්වන්නට ඇත.
දිගු අට නොහැර තම පිරෙමින් එයි නොහැර
ගිරගට පැමිණි සඳ බැබළෙයි සුදු රැසින
මනතුට වඩන සබඳිනි මෙම ලකුණු හැඳින
මතුරට ඉඩම වැද ලැගපන් සිතු ලෙසින
මතුරට සිට මහනුවර දක්වා ගමන් මාර්ගය අවසාන ලිපියෙන් කතා කරමු.
පසු සටහන්
1. මෙම ලිපි මාලාව සම්පාදනය කිරීමේදී ලබාගත් සියලු ඡායාරූපවල අයිතිය සිංහලේ නම් බ්ලොග් අඩවියේ භූෂණ සහෝදරයා සතුය.
2. මෙම මාර්ගය ඔස්සේ මහනුවර සිට බදුල්ලට පැමිණි මේජර් වෛද්‍ය ජෝන් ඩේවි විසින් තබන ලද සටහන් සමූහය හරහාද මෙම පැරණි මාර්ගය පිළිබඳව අදහසක් ලබාගත හැකි නමුත් මෙම ලිපි මාලාව තුළ ඒ පිළිබඳව කිසිදු කරුණක් ඇතුලත් වන්නේ නැත.
Comments
Post a Comment