මග සළකුණ හෙවත් බදුලු මගියාගේ සෙංකඩගල වන්දනාව - අවසාන කොටස

මතුරට සිට සෙංකඩගලට..

සැඩනළ එකක් මැඩගෙන මෙර සිදු දෙරණ

රකින කග පලහ ගෙන ඉදිරියට පැන

නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන

ගමන යෙහෙකි සකි කඩවත මතුරටින

උක්ත පැදියට අනුව මග සළකුණ කෘතිය රචනා වූ කාලයේදී මතුරට ද සෙබලුන් විසින් මුරකරනු ලබන කඩවතක් තිබී ඇති බව පැහැදිලිය. බදුලු මගියාගෙ ගමන අතරතුර ස්ථාන කිහිපයකදීම මෙවන් මුරකාවල් යොදන ලද කඩවත් හමුවීම හරහා උඩරට රාජධානියේ ප්‍රධානතම දිසාවනි හතරෙන් එකක් වූ ඌව සහ සෙංකඩගල අගනුවර අතර සබඳතාවය මෙන්ම ආරක්ෂක විධි විධාන ද තරකොට තැබීමට උඩරට රජවරුන් තුළ පැවති අභිප්‍රාය මනාව පැහැදිලි වේ.

මලවුල් කර මතට ඔපකර මුහුල බැඳ

සඳතුල් උවන මඳ මඳ හස යොදා ඉඳ

මනකල් ළඳ'ඟනන්ගේ දිය කෙලින හැම සඳ

බෙලිහුල් ඔය මෙසිරි නරඹා යව සබඳ


මතුරට කඩවත සිට සෙංකඩගල බලා යන මගියාට ඉන් අනතුරුව හමුවන බෙලිහුල් ඔය යනු මෙම මාර්ගයේ පිහිටි ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ස්ථානයකි. මේජර් ජෝන් ඩේවි විසින් තබන ලද මාර්ග සටහන තුළද බෙලිහුල් ඔය නම් නාමය සඳහන්වේ.

බෙලිහුල් ඔය තරණය කරමින් පදියපැලැල්ල සහ කොස්රුප්ප පසුකරමින් මැටිවල නම් ස්ථානයේ පිහිටා ඇති අම්බලම වෙත පැමිණ මදක් ගිමා නිවා ගන්නා අප මගියා ඉන් අනතුරුව ප්‍රවේශ වන්නේ වලුගන්හින්න, රිකිල්ලගස්කඩ සහ මාදන්වල විහාරය පසුකරමින් දියතිලක නුවර හෙවත් හඟුරකෙතටය.

බදුල්ල පිළිබඳව මෙන්ම දියතිලක පුරය පිළිබඳවද වර්ණනාත්මකව කරුණු ඉදිරිපත් කරනු ලබන මගියා උපුල්වන් දේවාලය, දියතලා කන්ද, කොත්මලේ වාහල්කඩ, අන්කෙළිහින්නේ බෝගස ආදී ස්ථාන පසුකරමින් රත්මැටිය ඔස්සේ මහ ඔය පසුකරමින් බෝලාපේ නම් ස්ථානය කරා ළඟාවේ. හඟුරන්කෙත සිට බෝලාපේ වෙත ළඟාවීම සඳහා ප්‍රධාන මාර්ග තුනක් ඇති නමුත්  මාරස්සන වෙහෙර හෝ අරත්තන වෙහෙර හරහා වැටී ඇති මාර්ගය ඒ සඳහා බොහෝදුරට භාවිතා වන්නට ඇත යන්න භූෂණ සහෝදරයා විසින් ඉදිරිපත් කොට ඇත.

මිණි රැසිනා පහඅග දිලෙන නොවැලක

නිති රඳනා සඟ ගණ පවර සිල්රැක

වම දිලෙනා මාරස්සන වෙහෙර දැක

වැඳ තොසිනා ලැබයව සගගිරි නොයෙක

වර්තමාන වික්ටෝරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක්  මෙට්‍රික් සිතියම්හී ලකුණු කර ඇතිබව භූෂණ සහෝදරයා විසින් දක්වා ඇත. ඉන් අනතුරුව කිවුල් ළිඳ සහ තලාතුඔය පසුකරමින් අන්පිටිය හෙවත් අම්පිටිය වෙත ළඟා විය යුතුය.

අම්පිටියේ සිට සෙංකඩගල දළදා මන්දිරය දක්වා ගමන් විස්තරයේදී දළදාගේ පිහිල්ල, නාථ සුර විමන හෙවත් නාත දේවාලය යකඩ කම්හලක් සහ මහ වාසල් දොර දැකබලාගනිමින් සහ සිරිවර්දන පුරය පිළිබඳ වර්ණනාවකින් අනතුරුව දළදා මන්දිරයට පිවිසෙන ලෙස දක්වමින් බොහෝ දුර බැහැර ගෙවාගෙන දළදා වහන්සේගේ ආශීර්වාද පතා පැමිණි අප බදුලු මගියා ස්වකීය ඓතිහාසික සංදේශ කාව්‍යය අවසන් කිරීමට කටයුතු කරයි.

නොමදා මිණි රැසින් නුබතලවන් ගිහිණි

පබදා රිවි කුල'ග නිති නිරිඳුන් විසු නිතිනි

පැහැදා මෙපුර සිරි නරඹා යළි තොසිනි

දළදා මාලිගාවට වදුව සබඳිනි

පසු සටහන්

1. සිතියම් සහ ඡායාරූප සියල්ල සි\ංහලේ බ්ලොග් අඩවියේ භූෂන සහෝදරයා සතුය.

2. මෙම පැරණි මාර්ගයේ ගමන් කිරීමට කොපමණ දිනක් ගතවේද යන්න පැහැදිලි නැත. එය සොයා බැලිය යුතුය.


Comments