තෑගි ඔප්පුවක් යනු කුමක්ද..?


තෑගි හෙවත් ත්‍යාග ඔප්පු යනු නිශ්චල දේපළ පැවරීම සඳහා ඇති නීත්‍යානුකූල ක්‍රමවේදයකි. මෙහිදී ත්‍යාග දීමනාකරු සහ ත්‍යාග ලැබුම්කරු යනුවෙන් ප්‍රධාන පාර්ශව දෙකක් දක්නට ලැබේ.

අදාළ දේපළ සඳහා ත්‍යාග ලැබුම්කරු විසින් ත්‍යාග දීමනාකරු වෙත ප්‍රතිෂ්ඨාවක් හෙවත් මුදලක් ගෙවීම මෙහිදී සිදු නොවන අතර ත්‍යාග ලැබුම්කරු කෙරෙහි ත්‍යාග දීමනාකරු සතු ආදරය, දයාව, කරුණාව, අනුකම්පාව වැනි ස්වභාවික හේතු මත දේපළ පවරාදීම සිදුකරනු ලැබේ.

ත්‍යාග ඔප්පු වර්ග කිහිපයක් ඇත.

ජීවිත භුක්තියට යටත් ත්‍යාග ඔප්පුව

මෙහිදී ජීවිත භුක්තිය හිමිවන අයට ජීවිත කාලය පුරාම දේපළ භුක්ති විඳීමේ අයිතිය ලැබෙන අතර අදාළ දේපළ පැවරීමට හෝ උකස් කිරීමට ත්‍යාග ලැබුම්කරුට අවශ්‍ය වන්නේ නම් ජීවිත භුක්තිය හිමි අයගේ අනුමැතිය ලබාගත යුතුය.

අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පුව

අවලංගු කළ නොහැකි බව සඳහන් උවත් කිසියම් නිශ්චිත කාලයක් තුළදී ත්‍යාග ලැබුම්කරු විසින් සිදු කරනු ලබන බලවත් අකෘතඥතාවයක් හේතු කොටගෙන අදාළ ත්‍යාග ඔප්පුව අවලංගු කර ගැනීමට හැකියාව ඇත. මේ සඳහා දිසා අධිකරණයේ නඩුවක් පැවරිය යුතුය.

අවලංගු කිරිමේ අයිතියට යටත් ත්‍යාග ඔප්පුව

ත්‍යාග ලැබුම්කරුගේ අනුමැතියකින් හෝ කැමැත්තකින් තොරව ත්‍යාග දීමනාකරුගේ අවලංගු කිරීමේ බලයට යටත්ව සකස් කරනු ලබන ත්‍යාග ඔප්පු මෙනමින් හඳුන්වනු ලැබේ. මෙවැනි ත්‍යාග ඔප්පුවක් අවලංගු කිරීම සඳහා අධිකරණයට යා යුතු නැත.

විවාහ ත්‍යාග

මෙය විවාහ දායාදයක් වශයෙන් හෝ අර්ථ නිරූපණය කළ හැක. විවාහය පදනම් කරගෙන ලබාදෙන බැවින් විවාහය කඩවීමේදී ත්‍යාගය අවලංගු කළ හැක.

මරණාසන්න ත්‍යාග ඔප්පුව

මරණය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙකුට දේපළ තෑගි කළ හැක. මෙවන් ත්‍යාගයක් ලැබුම්කරුට හිමිවන්නේ දීමනාකරුගේ මරණයෙන් පසුවය. ත්‍යාග දීමනාකරුගේ මරණය සිදි නොවුණහොත් ත්‍යාගය අවලංගු කිරීමේ හැකියාව ඇත.

මරණාසන්න ත්‍යාග හෝ විවාහ ත්‍යාග ආදී නීති සංකල්ප වර්තමානය වනවිට අභාවයට යමින් පවති සංකල්ප වශයෙන් හඳුන්වා දිය හැක.

Comments