ඇටෝර්නි බලපත්‍රය ( Power of Attorney ) යනු කුමක්ද..?

තමන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වෙනත් පුද්ලයෙකුට බලය පවරන ලේඛනයක් ඇටෝර්නි බලපත්‍රයක් වශයෙන් සරලව හඳුන්වල දෙන්න හැකියාව තියනව.

ලංකාවේ ගොඩක් අය මේ දවස්වල විවිධ හේතු මත ( රැකියා, සංචාර, පදිංචිය..etc ) විදේශගත වෙනව. ගොඩක් වෙලාවට ඒ වැඩකටයුතු හරිම කලබලයෙන් තමයි වෙන්නෙ.

පිටරටකට ගියාට පස්සෙ තමයි ලංකාවේ කරන්න ඉතුරු වෙලා තියන වැඩ ටික මතක් වෙන්නෙ..!

බැංකුවෙ උකස් තියපු රත්තරං බඩු ටික බේර ගන්නෙ කොහොමද..? ෆිනෑන්ස් කොම්පැණියෙං වාහනයෙ පොත නිදහස් කර ගන්නෙ කොහොමද..? තමන්ගෙ නමින් තියන ඉඩං කෑල්ල විකුණගන්නෙ කොහොමද..? තමන්ගෙ නමට තියන ගේ කෑල්ල කුලියට දෙන්නෙ කොහොමද..?

දැං ඔය උඩ තියන කතා ටික දැකපු ගමං ඇටෝර්නි බලපත්‍රය උවමනා වෙන්නෙ රට යන වෙලාවට විතරයි කියල හිතෙනවද..?

එහෙම එකක් නෑ. ලංකාවෙම ඉන්න කෙනෙකුට උනත් තමන් වෙනුවෙ වැඩ කටයුතු කරගෙන යෑම සඳහා තවත් කෙනෙකුට බලය පවරන්න කිසිම බාධාවක් නෑ.

ඇටෝර්නි බලපත්‍ර වර්ග දෙකක් තියනව.

සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රය

තමන් වෙනුවෙන් සාමාන්‍ය කටයුතු හැම එකක්ම කරගෙන යෑම සඳහා මේ බලපත්‍රය ලබා දෙන්න පුලුවන්. මේ හරහා ඇටෝර්නි අධිපති ( බලය පවරන පුද්ගලයා ) වෙනුවෙන් ඕනෑම නීත්‍යානුකූල කාර්යයක් ඉටු කිරීම සඳහා ඇටෝර්නි බලකරු ( බලය ලබන පුද්ගලයා ) ට බලය ලබා දෙනව.

විශේෂ ඇටෝර්නි බලපත්‍රය

මේ හරහා ඇටෝර්නි අධිපති විසින් ඇටෝර්නි බලකරුට බලය පවරනු ලබන්නේ කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා අවශ්‍ය සීමිත බලයක් පමණයි. උදාහරණ ගැන කතා කරොත් ඉඩමක් විකිණීම, රන් බඩු බේරා ගැනීම ආදී විශේෂ කටයුතු පමණයි.

විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනව නම් ඔය උඩ ලියල තියන ඇටෝර්නි බලපත්‍ර දෙකෙන් කුමක් හෝ හරහා තමන්ගෙ විශ්වාසවන්තයෙකුට බලය පවරා යෑම හරිම වැදගත්. එතකොට ඇටෝර්නි අධිපතිට ලංකාව තුළ තමන්ගෙ නමින් ඉඩම් මිලදී ගැනීම, ඉදිකිරීම් සිදු කිරීම පමණක් නෙවෙයි නඩු හබ සඳහා මැදිහත්වීමට උනත් හැකියාවක් ලැබෙනව.

ඇටෝර්නි බලපත්‍රයක් සකස් කරල යන්න බැරි උනොත් මොකද කරන්නෙ..?

එහෙම උනොත් ගොඩ එන්න ක්‍රම දෙකක් තියනව.

එකක් තමයි තමන් ඉන්න රටේ නොතාරිස්, නීතීඥ හෝ ඒ හා සමාන බලයක් සහිත පුද්ගලයෙක් හරහා සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් ලංකාවට එවීම සහ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම. ඒ ඒ රටවල් බහුතරයක නොතාරිස් ගාස්තු ගොඩක් ඉහළ නිසා ගොඩක් අය මේ වැඩේට කැමති නෑ.

අනිත් ක්‍රමය තමයි සකස් කර ගන්නා ලද ඇටෝර්නි බලපත්‍රයක් සහ වෙනත් ලේඛන අදාළ රටේ තියන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අරගෙන යෑම..තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට සහ බලය සහිත වෙනත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට එවැනි ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීමට බලය තියනව.

Comments