මග සළකුණ හෙවත් බදුලු මගියාගේ සෙංකඩගල වන්දනාව

ඒක ටිකක් දිග කතාවක්. ඒ වගේම කාලයක් තිස්සෙ ලියන්න බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක්.

ජෝන් ඩේවි දුටු බදුල්ල

අපි කවියකින්ම පටන් ගමු,

තඹර කර කුලග උතුමන් හට පවර
නොහැර ඉසුරු විඳිනට සිතසෙ අවසර
පතර දෙරණ බට සුරසෙන් සහ එවර
අමරපුර අසිරිසිරි වර බදුලු පුර

" මග සළකුණ " කියන කාව්‍ය සංග්‍රහයෙ තමයි ඒ කවිය තියෙන්නෙ. බැලු බැල්මටම පැරණි සංදේශ කාව්‍යයක තියන කවියක් වගෙම තමයි. නමුත් " මග සලකුණ " කියන්නෙ වෙනස් ආකෘතියක සංදේශ කාව්‍යයක්. කුරුල්ලෙක් වෙනුවට ඒ කවි පොතේ ඉන්නෙ මගියෙක්.

බදුල්ල 1859 - එමර්සන් ටෙනන්ට්

ඒ මගියා බදුල්ල මුතියංගණේ ඉඳල සෙංකඩගල නුවර දළදා හාමුදුරුවො බැහැදකින්න යන වන්දනා ගමනක් තමයි කතාවෙ මාතෘකාව.

මේ කවි පොතේ සමාරම්භක කතාවත් හරිම රසවත්.

හියු නෙවිල් මහත්මය විසින් එකතු කරපු පුස්කොළ පොත් අතර තිබිල කවි 203 ක් සහිත සටහන් වගයක් ක්‍රි.ව 1936 අවුරුද්දෙ දේවධර්මාචාර්ය සහ හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් පියතුමා විසින් හොයා ගන්නව. එතුමා ඒ සටහන් සමූහය කෘතියක් වශයෙන් ප්‍රකාශයට පත් කරනව. කතුවරයා පිළිබඳව කිසිම සඳහනක් නෑ. නමුත් භාෂාව, බදුලු පුරය, දියතිලක පුරය සහ සෙංකඩගල පුරයේ විස්තර ඇසුරින් එම කෘතිය 1612 - 1629 අතර කාලයේ රචනා වෙන්න ඇතිබව තමයි එඩ්මන්ඩ් පීරිස් පියතුමාගෙ මතය.

මේ කෘතිය අපිට වැදගත් වෙන්නෙ ඇයි..?


වර්තමානයේ බදුල්ල නගරය කරා ප්‍රවේශය සපයන ප්‍රධාන මාර්ග කීපයක්ම තියනව. නමුත් මේ කාව්‍ය සංග්‍රහයෙ සඳහන් වෙන්නෙ ඊට වෙනස් මාර්ගයක්. ක්‍රි.ව 1819 දි බදුල්ලෙ සංචාරය කරපු මේජර් ජෝන් ඩේවි විසින් සඳහන් කරන මාර්ගයත් මෙම මග සලකුණ කෘතියේ මාර්ගයත් අතර සමානකම් වගෙම අසමානකම් කීපයක්ම තියනව වගෙම බොහෝ දුරට එකඟවිය හැකි ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණය කරන්නත් හැකියාව තිබෙනවඅදින් වසර හාරසීයකට පූර්වයෙන් පැවති බදුල්ල නම් ජනාවාසය, බදුල්ල - මහනුවර පැරණි මාවත පිළිබඳව පමණක් නොව ජන ජීවිතය සංස්කෘතිය ආදී බොහෝ තොරතුරු ඒ හරහා මතුවෙනව.

මෙම ලිපි මාලාව සකස් කිරීමේදී භූෂණ සහෝදරයා විසින් සිංහලේ නම් බ්ලොග් අඩවිය සඳහා සම්පාදිත ලිපි මාලාව සහ සිතියම් බොහෝ ප්‍රයෝජනවත් වූ බවත් සඳහන් කළ යුතුමයි.

හොඳයි එහෙම නම් කතාව ආරම්භ කරමු.

බඳින ලෙස නොබා තිදිවට රන් හිණය
මුනිඳු දා තබා කළ පුරමින් පිනය
දෑත හිස තබා තොස වඩමින් මනය
පසඟ බිම ඔබා වැඳ මුතියංගණය

තුල්ලේ සිසි උවන තන රන්වන් තිසරු
බෙල්ලේ ලූ කණක දම් ලෙළවා මහරු
වැල්ලේ කෙළ යනෙන අඟනුන් දැක සොඳුරු
පල්ලේ වීදියට බැස යාගන් මිතුරු

කරපු තොසින් කුමාරසිංහ සිංහාසනය
එසැණ කෙලින සඳවන සිංහාසනය
අසුර මත වරණ වැනි සිංහාසනය
නරඹ දකුණ බරනෙත සිංහාසනය

අනේ බැබළි පහ අග රන්කොත් රැසින
වෙනේ නොවම දිව රෑ එකලෙස් දිලෙන
පෙනේ දකුණ මහසෙන් දෙව් රද විමන
මෙනේ තුටුව වැඳ යාගන් සකි සඳින

හමන පවන දද සන් සර සුවඳ ගෙන
රවන බමන බිඟු කැල තැන තැන දවන
දරණ ලෙසින් නතලූ පවුරැති සොබන
උයන දකුණ නරඹා යව ඉටු කලණ

තුටුව ලියන් කියනා ගීයට මනබැඳී
කැටුව නොයව තොප යන ගමනට වැරදී
ඉටුව මෙතොප ගිය කල දකුණු පස රැඳී
අටුව නරඹ පල්ලේවාහලට සැදී

සරකර කුළ කිරුළ බැඳලූ මිණ අයුරු
නරවර පෙර මෙපුර වැඩසිටින සඳ ගරු
හැමවර ඇතස් රිය නඟිනට තිබු සොඳෘ
මනහර හඳගලද දැක යාගන් මිතුරු

රන් හසවන් පියයුරු දැක ලකල්ලේ
මන් තොසයෙන් ඔපකර බැඳ මුහුල්ලේ
උන් අඟනන් දැක සිතු නොව විකල්ලේ
පැන් සනහන් සකි නයිකඳ පිහිල්ලේ

බදුලු පුරය පිළිබඳව මග සලකුණ කෘතියෙහි විස්තර කරනු ලබන මුතියංගණ විහාරය, පල්ලේ වීදිය, කුමාරසිංහ සිංහාසනය, මහාසේන දේවාලය, පවුරු වලින් වටවූ උයන, පල්ලේවාහල අටුව, හඳගල වීදිය, හඳගල සහ නයිකඳ පිහිල්ල නම් ස්ථානයන් පිළිබඳව අපගේ අවධානය යොමුවිය යුතුය.

පල්ලේ වීදිය යනු වර්තමාන පහල රජ වීදියයි. මහසෙන් දෙව් රද විමන හෙවත් වර්තමාන කතරගම දේවාලය සහ කුමාරසිංහ සිංහාසනය කුමක්ද යන්න හඳුනාගැනීම අපහසු නැත. පහත දක්වා ඇති සිතියම සහ සබැඳි මගින් ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

මුතියංගණය සහ කතරගම දේවාලය

පවුරු වලින් වටවූ උයන කුමක්ද යන්න එතරම් පැහැදිලි නොමැති නමුත්  පල්ලේ වාහල අටුව නමින් හඳුන්වා ඇති ස්ථානය නියත වශයෙන්ම වර්තමාන බදුල්ල බන්ධනාගාරය පිහිටා ඇති ස්ථානය බව පැහැදිලිය. වර්තමාන බදුල්ල නගරයේ කච්චේරි සංකීර්ණය පිහිටා ඇති භූමිය පැරණි මාලිගාවක් වශයෙන් භාවිත වූ බැවින් එම මාළිගාව හා සම්බන්ධ උද්‍යානයක් කතරගම දේවාලය සහ පල්ලේවාහල අටුව අතර පවතින්නට ඇතැයි උපකල්පනය කළ හැක.

නයිකැට හෙවත් නයිකඳ පිහිල්ල පිහිටා ඇත්තේ වර්තමාන බදුල්ල මහියංගණය මාර්ගයේ පීල්ලකඩේ නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයේ බැවින් හඳගල වීදිය සහ හඳගල කුඹුර පල්ලේවාහල අටුව සහ නයිකැට පිහිල්ල අතර තිබෙන්නට ඇතැයි උපකල්පනය කල හැක. හඳගල වීදිය අද වන විට හඳුනාගැනීමට නොහැකි මුත් වර්තමාන රෝමානු කතෝලික දේවස්ථානයට නුදුරින් හඳගල කුඹුර නම් වු වෙල් යායක් ඇත.

නයිකැට පිහිල්ල සහ මැදවෙල නම් වෙල් යාය

නයිකැට පිහිල්ලෙන් පිටත්වන මගියා මීළඟට ගමන් කරන්නේ මැදවෙල නම් වෙලක් හරහාය. මහියංගණය පාර සහ කැප්පෙටිපොල මාවත අතර සහ ඉන් පිටතට පවා විහිදෙන කොටස් වශයෙන් තවමත් ශේෂ වී ඇති වෙල්යාය එනමින් හඳුන්වන්නට ඇති බව ඉහත ඡායාරූපය මගින් දක්වා ඇති සිතියම මගින් පැහැදිලි වේ.

නොමද පැසි කරල් රන්දම් වැන්න
නිබඳ ගිරා කැල කපමින් තුඩගින්න
එසඳ අඹර නැගි සිය දෙව්දුනු වැන්න
සබඳ අලුත්වෙල සිරි දැක යාගන්න

ඉන් පසුව මගියා එළඹෙන්නේ අලුත්වෙල නම් ප්‍රදේශයකටය. බදුල්ල කැප්පෙටිපොල මාවතේ ඉහල කොටසේ මෙම නමින් හඳුන්වන ලබන ග්‍රාමයක් අද ද දක්නට ලැබේ. අලුත්වෙලගම, හෙළගම, පහලගම ආදී නම් කිහිපයකින් හඳුන්වනු ලබන එකී ග්‍රාමය හරහා වැටී ඇති මාර්ග කිහිපයක් ඔස්සේ අළුගොල්ල කන්ද වෙත ළඟා වීමට හැකියාව ඇත.

අලුත්වෙලින් පසුව මහගල්කඩ නම් ස්ථානයක් පිළිබඳව සඳහන්වන නමුත් එය නිවැරදිව හඳුනාගත නොහැක. ඉන් අනතුරුව හමුවන්නේ අළුගොල්ලේ බැවුල බැවින් එය නියත වශයෙන්ම වර්තමාන අලුත්වෙල ග්‍රාමයත් අලුගොල්ල කන්දත් අතර පැවති ස්ථානයක් වශයෙන් උපකල්පනය කළ හැක.
අළුගොල්ල කන්ද වනාහී සුවිශේෂී ස්ථානයකි. ක්‍රි.ව 1630 දී කුන්ස්තනිනූ ද සා ප්‍රමුඛ පෘතුගීසි සේනාවන්ගේ බදුලු ආක්‍රමණයේ ස්වභාවය සෙනරත් රජු සහ කුමාරවරුන් විසින් නිරීක්ෂණය කරන ලද්දේ මෙකී කඳු මුඳුන මත සිටය.

සිසිතුල්ලේ උවන නිති දිලෙන මනහර
මලවුල්ලේ කරබැඳ මුහුලත ඔපකර
ලියගොල්ලේ යන එන රුසිරැති පවර
අලුගොල්ලේ බැවුලෙන් යාකර මිතුර

නමුත් මග සළකුණෙහි සඳහන් නාදුනන මගියා අළුගොල්ල කන්ද සම්පූර්ණයෙන්ම තරණය කළ යුතු නැත. අළුගොල්ල මං සන්ධියේ සිට වැටී ඇති මාර්ග ඔස්සේ ඔහු ඉන් අනතුරුව ගමන් කරන්නේ කැටවල නගරයටය. අළුගොල්ලේ සිට ගමන් කිරීමේදී මහගල්කඩ, අළුගොල්ලේ බැවුල, කොහොවිල්ලේ කඳුර ( කොහොවිලකඳුර ) නම් ස්ථාන පිළිබඳව සඳහන් වී ඇත. මෙකී ස්ථාන පිළිබඳව විමසීමේදී අපට යම් ගැටළුවක් මතුවේ. වර්තමානයේ කොහොවිලකඳුර ( එනමින් හඳුන්වන කඳුර හරහා ) මාර්ගය වැටී ඇත්තේ මූලිකවම කන්දෙගෙදර නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයටය. කන්දෙගෙදර නගරයට ගොස් උවද කැටවල කරා යාමට පහසුකම් ඇති නමුත් එය තරමක් දීර්ඝ මාර්ගයකි. කොහොවිලකඳුර ජල පහසුකම් සහිත බැවින් එය හරහා වැටී ඇති මාර්ග ඔස්සේ කැටවල කරා යාම වඩාත් පහසුය. පහත සිතියම මගින් එම මාර්ගය පිළිබඳව අසම්පූර්ණ අදහසක් ලබාගත හැක.

අළුගොල්ලේ බැවුලේ සිට කැටවල කරා මාර්ගය

දිට නිල පුල වට අඳුනැඳ දුලා දළ
පිට තිල කෙකලා තනහස පිලා තුල
කට නිල ලිය සෙ රුසිරෙන් නෙතු ලොලා කල
කැටවල සිටින ළඳ අඟනන් බලා පල

මීළඟට අප නාඳුනන මගියාගේ වන්දනාවට ලක්වන්නේ සුප්‍රකට බෝගොඩ රාජ මහා විහාරස්ථානයයි.

ඒ ගැන ළඟ කොටසෙන් කතා කරමු.

Comments