මග සළකුණ හෙවත් බදුලු මගියාගේ සෙංකඩගල වන්දනාව - දෙවන කොටස

බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ සිට අලුගොල්ලේ බැවුල සහ කොහොවිල්ලේකඳුර හරහා වැටි තිබූ මාර්ගය ඔස්සේ කැටවල කරා ගමන් ගන්නා මගියාට මීළඟට හමුවන්නේ සුප්‍රකට බෝගොඩ රජමහා විහාරස්ථානයයි.

නොමින පහග රැඳි රන්කොත් රැසින

දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර

කුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර

තොසින නැමැද යව ලබන සැප අමර

බෝගොඩ ලී පාලම

සියම් නිකායේ මල්වතු මහා විහාරය මගින් පාලනය වන බෝගොඩ රජමහා විහාරය අසලින් ගලා බසින ගල්ලන්දා ඔය හරහා ඉදිකර ඇති ලී පාලම පිළිබඳව බදුලු මගියා කිසිවක් සඳහන් නොකිරීමද මෙහිදී අපගේ අවදානයට යොමුවිය යුතුය. ඇතැම්විට එකී ලී පාලම ඊට පසුකාලයකදී ඉදිකරවන්නට ඇත.

බෝගොඩ විහාරයෙන් පිටත්වන මගියාට ඉන් අනතුරුව ඌමා ඔයෙන් එතෙර වීමට සිදුවේ. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සලාවත්තොට නම් ස්ථානයයි.

කලා වටින් පිරිසඳ වත යුගැස පෙටින්

පිලා සැටින් රණහස දෙතන බැඳි පටින්

කලා විටින් විට දිය කෙලිනැවිත් වටින්

සලාතොටින් යා කර සබඳ සිත් තුටින්

ඉංග්‍රීසි පාලන සමයේදී ඉදිකරවන ලද හලාබ නම් යකඩ පාලම ඉදිකරවා ඇත්තේ නියත වශයෙන්ම මෙම සලාවත්තොට නමින් හඳුන්වන ස්ථානය විය යුතුය.

හලාබ යකඩ පාලම

ඒ අනුව හලාබ පාලම යනු වැරදීමකින් හෝ අර්ථයක් රහිතව ඉදි කරවන ලද්දක සේ ඉදිකරවා ඇත යනුවෙන් සමාජගතවී ඇති මතය බැහැර කල යුතුය. බදුල්ල සහ මහනුවර සම්බන්ධ කරමින් තවත් මාර්ගයක අවශ්‍යතාවය ඉංග්‍රීසින් පාලකයන්ගේ කාලයේ සිටම ඉස්මතුවී තිබෙන්නට ඇත.

නිබඳ වෙළෙප් මත ඉඳගෙන නොමින් සරු

බොළඳ මියුරු ගී කියමින් දදුන් සුරු

තසද තොස්ව ඒ අසමින් සවන් පිරූ

සබඳ දඹේ රුප්පේ සිට ගිමන් හරු

නිතින් සතහ සුපිහිටි දෙරණ මනකල

උතුන් කළණ ලකුණෙන් උස් දකුණු දළ

වසින් වසට අප හිමිහට පඳුරු කළ 

ඇතුන් බඳින ඇත්සල බල ඔය අසල

සලාවත්තොටින් එතෙරවන අප මගියා ඉන් අනතුරුව අවතීර්ණ වන්නේ වර්තමාන ඌව පරණගම මැතිවරණ බල ප්‍රදේශයටය. දඹේගොඩ නැවතී ගිමන් හැරීමෙන් අනතුරුව දක්නට ලැබෙන්නේ ඇත්හලකි. අනතුරුව තොරතුරු ඉදිරිපත් කරනු ලබන තුප්පිටියේ උයන නම් ස්ථානය තවමත් එනමින්ම හඳුන්වන තුප්පිටිය නම් කුඩා ගම්මානය විය යුතුය.

සලාවත්තොට සහ තුප්පිටිය

තුප්පිටියෙන් පිටත්වන මගියාට ඉන් අනතුරුව හමුවන්නේ තරමක නැග්මක් සහිත භූමියක් වශයෙන් හඳුනාගත හැකි සරණගොඩය.

නේනුව නො එසිතා ලිය මෙ ගම නැණ බල

ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල

සේනුව හොත් යන ගමනට වෙයි අබල

පේනුව සරණගොඩ නැගපන්න වැලිහෙල

භූෂණ සහෝදරයා විසින් පෙන්වා දෙනු ලබන ආකාරයට අනුව තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ළඟාවීමට මාර්ග දෙකක් ඇත.

1. සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කොට කඳු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ළඟාවීම.

2. සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ එහි මුදුනට නැගීම.

වැලිහෙල

පානා බල කුරැද බිම පස් විසුරමින

පානා දළ පුළිඟු පොර ඇණ තද රොසින

නානා රැළ මහිස නෙදිගින් දැක දුවන

මානා වෙල නරඹ බිය නොම ඉටු කළණ

සඳ තුල උවන නදකල සලෙලුන් ගොල්ල

මනකළ දෙතන රන් කලයුරු වන ලොල්ල

වෙන්කල අයුරු රුසිරැති අඟනන් ගොල්ල

දැකපල සබඳ පෙරමග සැදි හපුගොල්ල

වැලිහෙල සිට හපුගොල්ල හෙවත් සපුගොල්ල නමින් වර්තමානයේ හඳුන්වන ගම්මානය කරා ළඟාවීමේදී සිහිල්පැන්කඳුර, කෝට්ටගොඩ, මානාවෙල සහ වැවගෙදර පසුකල යුතුය.

ඉතිරිය තවත් කොටසකින් කතා කරමු.

Comments