පිරිසිදු ඔප්පුව



ඉඩමක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියනව. ඒ හැම එකක්ම කතා කරන්න ගියොත් කිසි කෙනෙක් මේ පෝස්ට් එක කියවන්නෙ නෑ. ඒ නිසා ඉතාම වැදගත් එක කරුණක් ගැන විතරක් කතා කරන්නම්.

X නමැති පුද්ගලයෙක් Y නමැති ඉඩම, Z නමැති අයට විකුණන්න උත්සාහ කරනව.

දැං මොකක්ද Z මුලින්ම හොයල බලන්න ඕන..?

මේ Y කියන ඉඩම X ට අයිතිද..?

ඒ කාරණය හොයා ගන්න ඕන නිසා මුලින්ම X සතුව තිබෙන ඔප්පුව මුලින්ම පරීක්ෂා කරනව. ඊට පස්සෙ Y ඉඩමට අදාළ පත් ඉරු ටික පරීක්ෂා කරනව.

ඔප්පුවත් පැහැදිලියි. පත්ඉරු ටිකත් පැහැදිලියි.

ලාබෙට ලැබෙනව නං මන්නා පාරක් උනත් කන්න කැමති මානසිකත්වයක ඉන්න Z ට දැං පුදුමාකාර තදියමක් හට ගන්නව. අදම ඔප්පුව ලියල, අදම රෙජිස්ටර් කරල, හෙටම ගිහිල්ල පදිංචි වෙන එක තමයි දැං එයාගෙ එකම සිහිනය.

අන්න ඒ වගේ අවස්ථාවක " අපි කෝකටත් පරණ ඔප්පු කීපයක් ගෙනල්ල බලමු " කියල කිව්වොත් Z ගෙ හිතට හරි නෑ. මේ තරම් පැහැදිලිව හැම දෙයක්ම තියනව නං ආයෙ මොකටද පස්ස ගහන්නෙ..?

ඔප්පු ටයිප් කරන්නෙ මිනිස්සු, ඒව සහතික කරන්නෙත් මිනිස්සු, ලියාපදිංචි කරන්නෙත් මිනිස්සු. අතීතයේ කිසියම් තැනක කිසියම් වැරදීමක් වෙලා තියෙන්න බැරිකමක් නෑ.

එක උදාහරණයක් කියන්නම්,

A කියල මනුස්සයෙක් ඉන්නව. මෙයාගේ B නමැති පියා මිය යනව. A නොතාරිස්වරයෙක් හම්බ වෙන්න ගිහිල්ල මෙහෙම කියනව.

" මගේ B පියා මිය ගියා. මගේ මවත් මිය ගියා. මට වෙනත් සහෝදර සහෝදරියන් නැහැ. ඒ අනුව මේ ඉඩම දැන් මට අයිතියි. දැං මට මේ ඉඩම මගේ පුත්‍රයා වන C ට තෑගි කිරීමට අවශ්‍යයි.

නොතාරිස්වරයාට පරචිත්ත විජානනය නෑ. ඉතිං මොකද කරන්නෙ..?

A ට වෙනත් සහෝදර සහෝදරියන් නැති බව සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නව. ඊට පස්සෙ ඔප්පුවෙ ඒ බව සඳහන් කරල C ගෙ නමට තෑගි ඔප්පුවක් ලියනව. C මේ ඉඩම D ට තෑගි කරනව. D තමයි X ට විකුණල තියෙන්නෙ.

D විසින් X ට Y නමැති ඉඩම විකුණන ලද ඔප්පුවෙ අර පරණ කතා මොකුත් නෑ. බැලු බැල්මටම අයිතිය පැහැදිලියි.

හැබැයි ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ..?

A පට්ට හොරෙක්. මිනිහට තව සහෝදරයෙක් ඉන්නව. ඒක වසන් කරල, නොතාරිස්වරයට බොරු කියල, හොර දිවුරුම් ප්‍රකාශ හදල මරිසියක් ගහල..!  C, D සහ X ඔක්කොමත් හොරු..!

මේ හැමෝම එකතුවෙලා Z අසරණයව අන්දල තමන්ට සම්පූර්ණ අයිතියක් නැති Y ඉඩම ඇඟේ ගහන්නයි හදන්නෙ..!

පරණ ඔප්පු කීපයක් හෝ පරීක්ෂා නොකරම කරත්තෙ නැග්ගොත් බඩු බනිස් නේද හිතවතුනි..?

Comments