ඌවේ වීරයා - කිවුලේගෙදර මොහොට්ටාල

1818 කැරැල්ල එහෙමත් නැත්නම් නිදහස් අරගලය කියල කියපු ගමන්ම හැමෝගෙම මතකෙට එන්නෙ මොණරවිල කැප්පෙටිපොල නිළමෙතුමාව විතරයි.

1630 රන්දෙණිවෙල සටන හා සම්බන්ධ පරණ නෑකමක් අනුව නම් එතුමත් ඌවට සම්බන්ධයි තමයි. නමුත් එහෙමටම ළඟ නෑයෙක් නෙවෙයි. නමුත් කිවුලේගෙදර මොහොට්ටල නිළමෙතුමා කියන්නෙ රියල්ම ඌවේ කකුලක්.

නායක්කර් රජවරු යටතේ උඩරට ඉහල නිලතල දරපු කැප්පෙටිපොළ, ඇහැළෙපොල වගේ ගොඩක් අයගෙ පරම්පරාවන් සම්බන්ධ වෙන්නෙ ඒ ඒ කාලවලදිම ලංකාවට ආපු දකුණු ඉන්දියානු පෙළපත්වලට.
නමුත් කිවුලේගෙදර පරම්පරාව කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
" කිවුලේගෙදර මොහොට්ටාල පැවත ආයේ දේවත්වයේ ලා සැළකුණු බණ්ඩාර වැද්දාගේ පරපුරෙනි. මරණින් පසු මොහු පුංචි අළුත් බණ්ඩාර දෙවියෝ යන නමින් වියළුවේ සහ බින්තැන්නේ වැසියන් විසින් ගෞරව කරනු ලැබෙයි. බණ්ඩාර වැද්දාගේ පරපුරේ තවත් පස් දෙනෙක් ද මෙසේ දේවත්වයේ ලා ගෞරව කරනු ලැබෙති. ඔවුහු නම් ඉහළ වලව්වේ අලුත් දෙවියෝ, පහළ වලව්වේ දෙවියෝ, දිසා බණ්ඩාර දෙවියෝ, පටබැඳි අලුත් දෙවියෝ සහ කඩවත දෙවියෝය. මොවුන් සඳහා කැපකරන ලද ගමේවෙල දේවාලය නටබුන් වූ නමුදු මෑතක දී යලිත් ඉදිකරවන ලදි. මෙහි මේ දෙවිවරුන්ගේ ආයුධය තබා තිබේ. එය බෝ පත්‍රාකාරය.. "
තෙන්නකෝන් විමලානන්ද මහාචාර්යතුමාගේ උඩරට මහ කැරැල්ල පොතෙන් උපුට ගත්ත ඉහත ඡේදය හරහා පොඩි ප්‍රශ්නයක් මතු වෙනව.
මෙම පරම්පරාව " බණ්ඩාර වැද්දාගේ පරපුර " නමින් හඳුන්වන්නේ ඇයි..?
සුප්‍රකට සමාජ විද්‍යාඥ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නෙ මෙහෙම මතයක්.
“ මහනුවර කුලීනයින්ට දුන් නම්බුනාම ආකාරයෙන් නාමය මුලට බණ්ඩාර යන කොටස වැද්දන් සඳහා ද යොදා තිබිණි. කෙනෙකු හඳුන්වා තිබුනේ සටන්බිම කාර්යභාරයක තේරුම දෙන කඩුකාර යන නමිනි. තව අයෙකු රාජා (සුළු රජු) ලෙස නම් කෙරුණු අතර ඔවුන්ගෙන් පැවතෙන්නෝ බෞද්ධ රජවරුන් සමග අන්තර් වෛවාහික සබඳතාවලින් යුක්ත වූහ. ඒ අනුව මෙම පිරිස් මහනුවර රජු විසින් මහනුවර සිට මාතලේ දක්වා ද ඉන් ඔබ්බට බින්තැන්න (වර්තමාන මහියංගණය) දක්වා ද එපමණක් නොව මා අනුමාන කරන ආකාරයට ත්‍රිකුණාමලය සහ මඩකළපුව දක්වා වූ නැගෙනහිර වෙරළ වරායන් දක්වා ද වූ ආරක්ෂක පෙරමුණුවල කටයුතු සඳහා යොදවා තිබූ බව ද දැක්වීම විස්මයට කරුණක් නොවනු ඇත. වැද්දන් ඔවුන්ගේ ලිහිල් හා ඉන්දියනු නොවන කුල ක්‍රමය නොමැතිව උවද සිංහලයින් මෙන් ම ඇතුළතින් විභේදනය වී සිටි බව අපි තේරුම් ගනිමු. එසේම වැද්දන් පිළිබඳ යටත්විජිත මතය අනුව නග්නව හෝ කොළ අතු ආදිය ඇඳ සිටි වැද්දන්ට වඩා මොවුන්ගෙන් සමහර දෙනා හොඳින් ඇඳ පැළඳ සිටි රජුගේ ආරක්ෂකයෝ වූහ. ”

මුල්ම බණ්ඩාර වැද්දා දේවත්වයට පත්වීම සම්බන්ධව ඉතාම රස කතාවක් තියනව. ඒක අපි පස්සෙ කියන්නම්....අද අපි මේ කතා කරන කිවුලේගෙදර මොහොට්ටාල කියන්නෙ අන්න ඒ මුල් කිවුලේගෙදරගෙ මුණුපුරෙක්.
කිවුලේගෙදර මොහොට්ටාල නිළමේතුමා නොහිටින්න උඩරට මහ කැරැල්ල එච්චර සටන්කාමී එකක් නොවෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බ. වියළුවේ සහ බින්තැන්නෙ ජනතාව සටනට එකතු කර ගැනීම සම්බන්ධයෙන් එතුමගෙන් ලැබුනෙ අති විශිෂ්ට සේවාවක්.
කිවුලේගෙදර අල්ලා දෙන්නෙකුට තාරකා පගෝදි 500 තෑගි දෙනව කියල ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නිවේදනයක් නිකුත් කරල තිබ්බ උනත් ඌවෙ සිංහල මිනිස්සු කවුරුවත් එතුමව අල්ලල දෙන්න ඉදිරිපත් උනේ නෑ. කිවුලෙගෙදරලා කියන්නෙ ඒ ජාතියෙ සමාජ ගෞරවයක් සහ ආදරයක් දිනා ගත්ත පරම්පරාවක්.
අන්තිමට ඌව පරණගම පැත්තෙ හිටපු මරක්කල මිනිස්සු දෙන්නෙක්ගෙන් ලැබිච්ච ඔත්තුවකට අනුව තමයි හිඟන්නෙක් හැටියට වෙස් වලාගෙන හිටපු එතුමව අත් අඩංගුවට ගන්නෙ.
යුද අධිකරණයක් මඟින් පවත්වන ලද කෙටි නඩු විභාගයකින් පස්සෙ 1818 දෙසැම්බර් 18 වෙනිදා බදුල්ලෙදි එතුමව එල්ලල මරල දානව.
ප.ලි
මහ කතරගම දේවාලෙත් මෙතුමගෙ නමට කැප කරපු ස්ථානයක් තියනව. ඒ වගේම බදුල්ලෙ ළිඳමුල්ලෙ පත්තිනි දේවාලෙ මෙතුමගෙ පිළිරුවක් දකින්න ලැබෙනව.



Comments