අවිධිමත් ණය ගනුදෙනු


ණය ආපසු අයකර ගැනීම හා සම්බන්ධ නීතිය ගැන ගොඩක් අයට නිවැරදි දැනුමක් නෑ. බැංකු සහ මූල්‍ය සමාගම්වල නම් මේ කාරණය හා සම්බන්ධ වෙනම අංශයක් ස්ථාපිත කරල තියනව. ඒ අයගෙ ගනුදෙනු ඉතාම විධිමත් ආකාරයට සැලසුම් කරල තියනව. උකස් ගැනීම, ඇපකරුවන්ගේ ප්‍රකාශ, ගිවිසුම් ආදිය තිතටම තියනව. අන්න ඒ නිසා බැංකුවක් හෝ වෙනත් විධිමත් මූල්‍ය සමාගමක් හරහා ලබා ගත්ත ණය මුදලක් නොගෙවා පැහැර හැරීම කියන්නෙ තනිකරම පරිප්පුවක්. එක්කෝ ණයකාරයට නැත්නම් ඇපකාරයන්ට ඒ ණය ගෙවන්නම වෙනව. අතිශය බරපතලම නෛතික කාරණයක් නැත්නම් මිසක් ඒ අය එක්ක නඩු කියල දිනන්න හිතන්න එපා. ඒ ඇයි කියල අහන්නත් එපා.

අපි එදිනෙදා ජීවිතය ගෙවන අතරවාරයෙත් විවිධ ණය ගනුදෙනු වෙනව. කඩේකින් බඩු අරගෙන සල්ලි පස්සෙ දෙන්නම් කියන එකත් ණයක් තමයි. Daily Collectors ල නොහොත් පොළියට දෙන අය ඉන්නව.  ඒ අය කිසියම් මුදලක් තවත් කාටහරි ණයට දීල පොලියක් සමග අයකර ගන්නව.

ඔය උඩ කියපු ජාතියෙ ණය ගනුදෙනු වලදි කිසිම ලියවිල්ලක් හුවමාරු වෙන්නෙ නෑ. තනිකරම කට වචනය සහ විශ්වාසය මත පමණක් පදනම් වෙලා තමයි ගනුදෙනුව වෙන්නෙ. මේ ජාතියෙ වාචික ගනුදෙනුවක් හරහා උනත් නෛතික ගිවිසුමක් හට ගන්නව. හැබැයි එහෙම නෛතික ගිවිසුමක් අධිකරණයක් හරහා ඔප්පු කර ගන්න එක හරිම අපහසු සහ සාර්ථකවීමේ සම්භාවිතාවය ඉතාම අඩු වැඩක්.

ඉතිං අර අසරණ ණය හිමියො මොකද කරන්නෙ..?

සැපට දුකට සනී හෙවත් පොලීසියට දුවනව. පැමිණිල්ලක් දානව. මේ මොහොතේ සිට ණය ගනුදෙනුවේ ස්වභාවය වෙනස් වෙනව. පැමිණිලිකාරයා බොහෝවිට පොලීසිය සමග හිතවත් වෙන්න උත්සාහ කරනව. තව තව දේවල් එහෙමත් වෙනව කියල කියනව. නමුත් මම ඒ ගැන කියන්න දන්නෙ නෑ.

පොලීසිය ණයකාරයට කතා කරනව.

" අපිට තමුන්ට විරුද්ධව පැමිණිල්ලක් ලැබිල තියනව. ණය ගනුදෙනුවක් වෙලා තියනව නේද..? දැං මොකද කරන්නෙ..? අපිට තමුන්ව අත් අඩංගුවට අරගන්න වෙනව..! ඊට පස්සෙ ඉතිං මේක විසඳගන්න වෙන්නෙ උසාවියෙන් තමයි " කියල බය කරනව.

ණය ගත්ත මනුස්සය බය වෙනව. තමන් ණයක් ගත්ත බව පිළි ගන්නව. සාධාරණ කාලයක් තුළ ගෙවන්න පොරොන්දු වෙනව.

ණයක් ගත්ත නම් ඒක ගෙවන්න ඕන. නීතිය පැත්තකින් තිබ්බත් ඒක තමයි යුතුකම.

නමුත් මේ වෙලාවෙ පොලීසියේ මැදිහත්වීමේ කිසිදු අර්ථයක් නෑ. ණය ගනුදෙනුවක් කියන්නෙ සිවිල් කාරණයක්. පොලීසියට ඒ කරුණු ගැන මැදිහත් වෙන්න බලයක් නෑ. නමුත් ඉතිං පැමිණිල්ලක් ලැබීම සහ එය විභාග කළ යුතුවීම කියන මතය උඩ අර විදිහට ණයකාරයට පීඩනයක් එල්ල කරන්න පොලීසියට බැරිකමක් නෑ.

ඇත්තම ඒක වැරදි වැඩක්. ණය ගත්ත මිනිහ පොලීසියට ගිහිල්ල,

" මම ණයක් ගත්තෙ නෑ මනුස්සයො. රට වටේම ඉන්න එක එකා මට විරුද්ධව පැමිනිලි දාන දාන සැරේට මට පොලිසි ගානෙ එන්න උනොත් ඉතිං මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. මම මේ පැමිණිලිකාරයගෙන් ණයක් ගත්ත නම් ගිහිල්ල නඩු දාන්න කියනව. තමුසෙල කවුද ඒවට මැදිහත් වෙන්න..? "

කියල ඇහුව නං පොලීසිය ලෙප්ට්..!

අන්න එවැනි අවස්ථාවකදි ණය දීපු මනුස්සය අන්ත අසරණ වෙනව. එක්කො බලු කපුටු දානයක් දුන්න කියල හිත හදා ගන්න පුලුවන්. නැත්නම් ආපහු ඒ ජාතියෙ මරිමෝඩ ණය ගනුදෙනු කරන්නෙ නැතුව විධිමත් ණය හිමියෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්නත් පුලුවන්..!

විධිමත් ණය හිමියෙක් වෙන්න ක්‍රම කීපයක්ම තියනව.

උකස් ගැනීම, පොරොන්දු නෝට්ටුවක් ලියවා ගැනීම ආදිය තමයි බොහොම සුලභව දකින්න ලැබෙන්නෙ.

උකස සහ පොරොන්දු නෝට්ටුව තුළ උනත් බැඳීමකට ලක් වෙන්නෙ ණයකාරයා පමණයි. බැංකු සහ මූල්‍ය සමාගම් ඇපකාර ප්‍රකාශ ලබා ගැනීම හරහා ඒ ගනුදෙනුව තවත් විධිමත් කරනව.

සාමාන්‍ය ණය හිමියෙකුට උනත් වෙනත් කිසියම් පුද්ගලයෙකුට ණයක් ලබාදීමත් සමග ඇපකරුවන්ට වගකීම පැවරීමට හැකියාව තියනව. වැනීසියේ වෙළෙන්දා කතාවේ ෂයිලොක් නම් යුදෙව්වා අන්තෝනියෝ එක්ක ඇතිකර ගන්නෙත් ඒ ජාතියෙ ඇපකාර ගිවිසුමක් තමයි.

හැබැයි ගොඩක් අය මේ කිසිම දෙයක් ගැන දැනුවත්භාවයක් නැතුව ණය දීල නිරපරාදෙ අමාරුවෙ වැටෙනව.

Comments