දික්කසාදය


ඉහත මාතෘකාව ගැන අවස්ථා කීපයකදීම පොඩි සටහන් ලියල තියනව. නමුත් සවිස්තරාත්මකව ලියල නෑ.

ඉතාම සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්..

විවාහය කියන්නෙත් යම් ආකාරයක ගිවිසුමක්. පාර්ශවයන්ගේ කැමැත්ත මත විවාහයක් ඇතිකර ගත හැකි නමුත් දික්කසාද වීමට නම් අධිකරණයක් හමුවට යා යුතුමයි.

" කැමැත්තෙන් දික්කසාද වීම " හෝ " දික්කසාදය දීම " වැනි යෙදුම් අහන්න ලැබුනට එවැනි සංකල්ප ලංකාවේ සාමාන්‍ය නීතිය තුළ ඇත්තටම නැහැ.

දික්කසාද වීමට අවශ්‍ය නම් වෛවාහික වරදක් ඔප්පු කළ යුතුමයි. ලංකාව තුළ අදාල කරගත හැකි වෛවාහික වැරදි තුනක් තියනව.

අනාචාරය

අනාචාරය නෛතික වරදක් නෙවෙයි. නමුත් එවැනි කරුණක් ඔප්පු කිරීම හරහා දික්කසාදය ලබා ගැනීමට හැකියි. එවැනි අවස්ථාවකදී අදාළ අනාචාරී ක්‍රියාවට සම්බන්ධ අනෙක් පාර්ශවයත් ( අනාචාරියා ) නඩුවේ පාර්ශවයක් කොට වන්දි ඉල්ලා සිටීමේ හැකියාව තියනව.

විවාහ වන අවස්ථාවේ පවතින ලිංගික බෙලහීනතාවය

බෙලහීනතාවය විවාහ වන අවස්ථාවේ සිට තිබිය යුතුයි. විවාහයෙන් පසුව බෙලහීන උනොත් වෙන හේතුවක් හොයා ගන්න වෙනව. ඒක හරිම විරලව වාර්තාවෙන වෛවාහික වරදක්.

ද්වේශ සහගත අතහැරයාම

මේ වෛවාහික වරද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. උදාහරණක් මගින් පැහැදිලි කරගමු.

X නමැති බිරිඳ සමග ජීවත් වෙන්න බෑ කියල Y සැමියා ගෙදරින් යනව. Y සැමියා තමන්ව ද්වේශ සහගත ලෙස අතහැර ගිය බව පවසමින් X බිරිඳට දික්කසාද නඩුවක් පවරන්න පුලුවන්. බිරිඳගේ තාඩන පීඩන නිසා තමන්ට වෛවාහික නිවස තුළ ජීවත් වීමට නොහැකි වීම නිසා ද්වේශ සහගත ලෙස අතහැර යෑම නම් වරද අනුමිත ලෙස සංස්ථාපනය වූ බව පවසමින් Y සැමියාට X බිරිඳට එරෙහිව නඩු පවරන්නත් හැකියාව තියනව. වෛවාහික වරද සිදුකරන ලද්දේ කවුද කියන කාරණය ගරු අධිකරණය විසින් තීරණය කරනව.

ඔය උඩ ලියල තියන ක්‍රමවලට අනුව නඩු කියන්න බහුතරයක් ගෑණු මිනිස්සු කැමතිම නෑ. සැමියා සහ බිරිඳ හරිම සමගියෙන් ඇවිත් දික්කසාද නඩු පවරනව අපි දැකල තියනව.

සමහරු නඩු කියල දික්කසාදය සහ වන්දි ලබා ගන්න කැමතියි. තවත් සමහරු කෙටියෙන් ඉවර කර ගන්න කැමතියි.

දික්කසාද නඩුවක් හබ කිරීමකින් තොරව අවසන් කර ගැනීමට නම් එක් පාර්ශවයක් ස්වකීය වෛවාහික වරද පිළිගත යුතුමයි. අනිත් පාර්ශවයෙන් වන්දි හෝ වෙන යමක් ඉල්ලන්නෙ නැතුව දික්කසාදය පමණක් ඉල්ලා සිටිනව නම් තමන් ඉල්ලන්නෙත් දික්කසාදය පමණක් නම් ඒ වෛවාහික වරද පිළිගත්ත කියල කිසිම හානියක් නෑ. එවැනි වරදක් පිළිගත්ත කියල ගරු විනිසුරුතුමා දඬුවම් නියම කරන්නෙත් නෑ.

Comments