අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළ උරුමය


X නමැති පුද්ගලයා මිය යනව. තමන්ගෙ මරණයෙන් පස්සෙ දේපළ බෙදෙන ආකාරය ගැන X වීසින් අන්තිම කැමති පත්‍රයක් ලියල නෑ.

එයා සතුව තිබ්බ නිශ්චල දේපළ වලට මොකද වෙන්නෙ..?

ලංකාවෙ සාමාන්‍ය  නීතියට අනුව ( උඩරට සහ මුස්ලිම් විවාහ සහිත අවස්ථාවලදී දේපළ උරුමය වෙනස්. ඒ ගැන මේ ලිපියෙ කතා කරන්නෙ නෑ ) පහත සඳහන් ආකාරයට දේපළ උරුම විය යුතුයි.

1. බිරිඳ - 1/2

2. දරුවන් - 1/2

දරුවො කීප දෙනෙක් ඉන්නව නම් ඔය උඩ තියන බාගය ඒ කීප දෙනා අතරේ සමසේ බෙදෙනව. පෙර විවාහයක ළමයි ඉන්නව නම් ඒ ළමයින්ටත් ඔය දෙවනියට කියපු බාගය සඳහා අයිතිවාසිකම් තියනව. නමුත් දික්කසාද වෙච්ච ඒ පෙර විවාහයේ බිරිඳට කිසිම අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ.

ඔය උඩ ලියල තියන කතාව ගොඩක් අය දන්නව. නමුත් ඒ අයිතිය හරියාකාරව ගන්නෙ කොහොමද..? කිසියම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් රහිතව මිය ගියාට පස්සෙ කරන්න ඕන මොකක්ද..? වැනි කරුණු ගැන අදහසක් නෑ.

දැං ඒ ගැන කතා කරමු.

මියගිය පුද්ගලයා සතු දේපළ වටිනාකම ලක්ෂ හතලිහට ( මට මතක හැටියට ) වැඩිනම් එකී දේපළ බෙදා ගන්න අනිවාර්යයෙන්ම අධිකරණයට යා යුතුමයි.

නමුත් ඊට අඩු වටිනාකමක් සහිත දේපළ ආකාර කිහිපයකට බෙදා ගන්න පුලුවන්.

උදාහරණ කීපයක් කතා කරමු.

1. හිස් ඉඩමක් තියනව. බිරිඳගෙ බාගය වෙන් කරනව. දරුවො දෙන්නෙක් ඉන්නව ඒ දෙන්නගෙ බාගය දෙකට කඩල වෙන් කරනව. ප්ලෑනකුත් අඳිනව. ඊට පස්සෙ තුන් දෙනා එකතු වෙලා සමගි බෙදුම් ඔප්පුවක් ලියනව.

2. හිස් ඉඩමක් තියනව. බිරිඳට ඒ දේපළ ගැන උවමනාවක් නෑ. දරුවො දෙන්නගෙන් එක් කෙනෙක්ට මේ ඉඩම දෙන්න එයා කැමැතියි. අනිත් දරුවා ඒකට කැමති නෑ. බිරිඳ අදාළ දේපළෙන් තමන්ට හිමි නොබෙදූ දෙකෙන් පංගුව අර තමන් කැමති දරුවට විකුණුම්කරයක් හෝ ත්‍යාගයක් වශයෙන් දෙනව. එතකොට ඒ දරුවට අදාළ ඉඩමේ 3/4 ක නොබෙදූ නමුත් නිරවුල් අයිතියක් ලැබෙනව. ඉඩම බෙදා ගන්න එක සමගියෙන් හෝ අධිකරණය හරහා සිදු කරන්න පුලුවන්.

3. හිස් ඉඩමක් තියනව. බිරිඳ සහ දරුවො දෙන්නටම මේ ඉඩම විකුණන්න අවශ්‍ය වෙලා තියනව. කිසිම ගැටළුවක් නෑ. තුන් දෙනාම එකතු වෙලා ඒ තුන් දෙනාම අත්සන් කරල ඉඩම විකුණන්න හැකියාව තියනව.

4. හිස් ඉඩමක් තියනව. බාගයක් අයිති වෙලා හිටපු බිරිඳත් මිය ගිහිල්ල. දරුවො දෙන්න විතරයි ඉතුරු. දැං ඒ දෙන්නට හරියටම බාගය බැගින් අයිතියි. අවශ්‍ය නම් සමගි බෙදුමක් හරහා බෙදා ගන්න හෝ එකතු වෙලා විකිණීම, තෑගි කිරීම වැනි වෙනත් යමක් කරන්න හැකියාව තියනව.

ඔය උඩ ලියල තියෙන්නෙ ඉතාම සරල උදාහරණ කීපයක් පමණයි. ඇත්ත ප්‍රශ්න සහ නඩු කාර්ය පටිපාටියත් හරිම සංකීර්ණයි.

Comments