ලීසිං සහිත වාහනයක් මිළදී ගැනීම


තවත් පුද්ගලයෙක් විසින් ලීසිං පදනම යටතේ මිළදී ගත් වාහනයක් මිළදී ගන්නෙ කොහොමද..?

මේ මාතෘකාව තරමක් පැටලිලි සහගතයි. දන්න හැටියට ලිහල දෙන්න උත්සාහ කරන්නම්.

A නමැති පුද්ගලයෙක් B නමැති ලීසිං සමාගම එක්ක එකතු වෙලා වාහනයක් ගන්නව. එතකොට වාහනයේ පරම අයිතිකරු වෙන්නෙ B නමැති ලීසිං සමාගම. වාරික මුදල් සියල්ල නිසි පරිදි ගෙවා අවසන් කිරීමෙන් පසුව B නමැති ලීසිං සමාගම විසින් A නමැති පුද්ගලයා වෙත අදාළ වාහනය නිදහස් කරනව.

නමුත් වාරික මුදල් ගෙවා අවසන් කිරීමට පූර්වයෙන් A නමැති පුද්ගලයාට මෙම වාහනය C නමැති තවත් පුද්ගලයෙකුට විකිණීමට අවශ්‍ය වෙනව. සම්පූර්ණ මුදල B ලීසිං සමාගමට ගෙවා වාහනය තමන් වෙත පවරා ගැනීමට C නමැති පුද්ගලයාට හැකියාවකුත් නෑ.

එහෙනම් C කළ යුත්තේ කුමක්ද..?

C හමුවේ තියන හොඳම විසඳුම තමයි B නමැති ලීසිං සමාගම හෝ වෙනත් ලීසිං සමාගමක සහය ලබා ගැනීම. එතකොට ඒ ඒ ලීසිං සමාගම් අතර හෝ එකම ලීසිං සමාගම හරහා වාහනය සඳහා අලුත් ලීසිං පහසුකමක් හදා ගන්න හැකියාව තියනව.

නමුත් බහුතරයක් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් යන දෙපාර්ශවයම මේ වැඩේට කැමති නෑ.

ලීසිං සමාගමට තමන්ගෙ අයවිය යුතු ගාස්තු ටික ගෙවල ඉවර වෙනකොට විකුණුම්කරුට ඒ තරම් වාසියක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම ගැනුම්කරුට අලුත්ම ලීසිං එකක් හදාගෙන යෑම හරහා වැඩි පොළියක් ගෙවන්න වෙන්නත් ඉඩ තියනව.

ඉතිං මේ දෙගොල්ල හරිම සරල වැඩක් කරනව.

නීතීඥවරයෙක්, නොතාරිස් හෝ සාමදාන විනිසුරුවරයෙක් ළඟට යනව. මූලික කොන්දේසි ටික දාල ඇග්‍රීමන්ට් එකක් හදා ගන්නව.

ඒකත් ගැටළුවක් නෑ. කිසිම නීතිමය වරදකුත් නෑ. පාර්ශව දෙකක් එකතු වෙලා ගිවිසුමකට එකඟ වෙන්න බැහැ කියල නීතියක් නෑ.

නමුත් අවුල එන්නෙ වෙනස් විදිහකට..

ගැනුම්කාරයො නිසි පරිදි ලීසිං වාරික නොගෙව්වොත් හෝ වාහනය අනීතික කටයුතු සඳහා භාවිතා කරොත් පරිප්පුව කන්න වෙන්නෙ විකුණුම්කරුට. ගැනුම්කාරයො නිසි පරිදි ලීසිං වාරික ගෙවල තිබියදීත් විකුණුම්කාරයා වාහනයට අයිතිවාසිකම් කියන්න ගත්තොත් ගැනුම්කරුට පරිප්පුව කන්න වෙනව.

මේ ජාතියෙ විකුණුම්කාරයො සහ ගැනුම්කාරයො ගිවිසුම සකස් කරල නීතීඥවරයෙක් හෝ නොතාරිස්වරයෙක් ඉදිරිපිට අත්සන් කරන්න හරිම කැමතියි. එහෙම කෙනෙක් ඉස්සරහ අත්සන් කරා කියල ගිවිසුමට තටු ලැබෙන්නෙ නෑ.

හැබැයි " සර් අත්සන් කරල සීල් එක තියන්න " කියල තමයි මේ හැමෝම කියන්නෙ.

අන්න ඒක තමයි සුපිරිම මයිසූර් පරිප්පුව..!

" කියවා බලා මා ඉදිරිපිටදී අත්සන් කරන ලදි " කියල වාක්‍යයක් දාල මමත් එහෙම ගිවිසුම් තුනක් මෝඩකමට අත්සන් කරල තියනව..

ඇත්තටම ඒ වෙලාවෙ මම ඒ වැඩේ බරපතලකම දැනගෙන හිටියෙ නෑ..

මොකක් හරි තුන් හුලසක් පත්තු වෙලා ඒ එක ඇග්‍රීමන්ට් එකක් හරි උසාවියට ආවොත් මටත් නිරපරාදෙ උසාවි කූඩුවට නගින්න වෙනව..!

Comments