ග්‍රීක මිත්‍යා කතා - සිසිපස් සහ පෙරළෙන පර්වතය

කතාව බොරු උනත් දාර්ශනික මතවාද ග්‍රීක මිත්‍යා කතා තුළ දකින්න ලැබෙන බව හඳුන්වා දීමේදීම කිව්වනේ....! ඒ බව හොඳින්ම පැහැදිලි වෙන කතාවකින්ම මේ කතා මාලාව පටන් ගමු.

සිසිපස් කියන්නේ කොරින්ත් කියන පුර රාජ්‍යයය ආරම්භ කරපු රජතුමා. කාටත් පොදු ධන තණ්හාව, කපටිකම ඔහු තුළ ඕනවටත් වඩා පිහිටල තිබුණා.


එයාගේ එක සැලසුමක් උනේ එක්කුසේ උපන් තමන්ගේම මල්ලිව විනාශ කරන එක. ඒ ප්ලෑන් එකේ කොටසක් හැටියට එක අවස්ථාවක සිසිපස් තමන්ගේම මල්ලිගේ දුවව දූෂණය කරනව.


සිසිපස් මැරෙන්න ඔන්න මෙන්න තියල බිරිඳට කියනව තමන් මැරුණට පස්සේ තමන්ගේ නිරුවත් සිරුර නගර මධ්‍යයේ තියන චතුරස්‍රයේ තියන්න කියල.

ඒක කරන්නේ බිරිඳ ඒ අවසන් ඉල්ලීම ඉෂ්ට කළාට පස්සේ දිවිය ලෝකේ ඉඳගෙන බිරිඳට සාප කරන්න අවස්ථාවක් ලබා ගන්න. මොකද එතකොට කියන්න පුළුවන්නේ තමන්ගේ අවසන් කටයුතු බිරිඳ විසින් හරියට ඉෂ්ට කළේ නැහැ කියල.

මේ ඉන්නේ සිසිපස්

වැරදි කරන්න ලේසියි. ඒත් ඒවට ලැබෙන දඬුවම් වලින් ගැලවෙන්න අමාරුයි. සිසිපස් ට වෙන්නෙත් ඒක. දෙවියෝ ඔහුට දඬුවම් කරනව මතක හිටින්න. ආයේ වැරදි නොකරන්නම.

කන්දක් පහල තියන ලොකු ගලක් කන්ද උඩට තල්ලු කරන එක තමයි දඬුවම. හැබැයි ගල කන්ද මුදුනට අරගෙන ගිය ගමන් ඒක ආපහු පහලට පෙරලිලා ඇවිත් තිබ්බ තැනටම වැටෙනව. සිසිපස් ආයෙත් ඒක තල්ලු කරන්න ඕනේ. කවදාවත් මේ වැඩේ ඉවර වෙන්නේ නෑ.


ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක් වෙච්ච ඇල්බෙයා කැමූ මේ මිත්‍යා කතාව ගැන පොතක්ම ලිව්ව පිටු එකසිය දහ නමයක. ඒකේ ඔහු මේ කතාව ගැන අදහසක් ඉදිරිපත් කරනව.


ඇල්බෙයා කැමූ

ඇල්බෙයා කැමූට අනුව සිසිපස් මිනිස්සුන්ට වඩා වාසනාවන්තයි.

මිනිස්සු ඉපදෙනව, ජීවත් වෙනව, මැරෙනව....!


සිසිපස් ගල තල්ලු කරනව, උඩට ගෙනියනව, ආයේ පහලට වැටෙනව....!

හැබැයි තමන්ට මේ ලැබිල තියෙන්නේ දඬුවමක් බව සහ තමන් එය කළ යුතුම බවත් සිසිපස් දන්නව. ගල තල්ලු කළාට පස්සේ ආයෙත් එය පහලට වැටෙන බවත් ඔහු දන්නව.


නමුත් මිනිස්සු....?


ඇල්බෙයා කැමූට අනුව
අපි ඉපදෙන්නේ ඇයි ? ජීවත් වීමේ අරමුණ කුමක් ද ? මැරුණට පස්සේ මොකද වෙන්නේ ? ආදී ප්‍රශ්න වලට තවමත් උත්තර ලැබිල නැහැ.

අන්න එතනදි තමයි සිසිපස් අපිට වඩා වාසනාවන්ත..!

Comments