අනර්කලී

ක්‍රි.ව 1953 අවුරුද්දේ නිර්මාණය වෙච්ච ' අනර්කලී ' චිත්‍රපටයේ Yeh Zindagi Uzi ki hai නමැති ඉතාම ලස්සන තනුවක් තිබ්බ සින්දුවක් අහම්බෙන් වගේ අහන්න ලැබුණු නිසා පොඩි කතාවක් ලියාගන්නත් ප්‍රස්තුතයක් ලැබුණා.

කවුද මේ අනර්කලී..?

අනර්කලීගේ කතාව පිළිබඳ ඉතිහාසඥයන් අතර කිසිම නිශ්චිත එකඟතාවයක් නැහැ. එක එක පුද්ගලයන් විවිධ හේතු සහිතව විවිධ අර්ථකතන අනර්කලීගේ කතාව සම්බන්ධව ඉදිරිපත් කරනව.

විකිපීඩියාව පැත්තේ රවුමක් ගැහුවොත් ඒ ඔක්කොම සවිස්තරව දැන කියා ගන්න පුළුවන් වෙයි.

ඒ ඔක්කොම කියන්න ගියොත් කියවන්න කම්මැලි හිතෙන්න පුලුවන් නිසා අනර්කලී පිළිබඳව ඉදිරිපත් කරන්න පුලුවන් සිනමාත්මකම කතාව කියන්නම්.

පැරණි පර්සියාව හෙවත් ඉරානය හරහා ඉන්දියාවට වෙළඳ මාර්ග කිහිපයක්ම වැටිල තිබුනා. ඒ වෙළඳ මාර්ග ඔස්සේ නිතරම ඉන්දියාවට තවලම් කණ්ඩායම් එහෙමත් ආව.

අනර්කලී කියන්නේ ඒ තවලම් කණ්ඩායමක් විසින් ඉන්දියාවට අරගෙන ආපු වහල් තරුණියක්.

එයා ඉන්දියාවට ඇවිල්ල මහා අක්බාර් අධිරාජයාගේ අන්ත:පුර කාන්තාවක් උනේ කොහොමද කියන එක නම් ඉතිහාසයෙන් වැහිල තියෙන්නේ. ඒත් අනර්කලී කියන්නේ අක්බාර් අධිරාජයාගේ අන්ත:පුරයේ හිටපු නර්තනයට ඉතාම දක්ෂ තරුණියක් හැටියට නම් ප්‍රසිද්ධ වෙලා හිටියා.

අක්බාර් අධිරාජයාට විවාහ සම්බන්ධතා ගණනාවක්ම තිබ්බ. ඒ අතරින් ප්‍රසිද්ධම එක අපි හැමෝම දන්නව. ආමෙර් හි එහෙමත් නැත්නම් වර්තමාන ජායිපූර් හි ජෝදා කුමරිය තමයි අක්බර් අධිරාජයාගේ තුන්වන බිසව.

ජෝදා කුමරියගේ පුත්‍රයා තමයි සලීම් එහෙමත් නැත්නම් සුප්‍රකට ජහන්ගීර්.

මේ ජහන්ගීර් සහ අනර්කලී අතර පොඩි හුටපටයක් පටං ගත්තා. තරුණ වයස නේ ඉතිං..! පරහකට තියෙන්නේ තාත්තා සන්තක වස්තුවක් එක්ක පුතා හුටපටයක් ආරම්භ කරපු එක.

එක දවසක් අන්ත:පුරයෙදි මේ දෙන්නව අධිරාජයගේ අතටම අහු වෙනව.

අක්බාර් අධිරාජය මුලින්ම හිතුවේ මේ ඉන්නේ වෙන කවුරු හරි කියලලු. මරන්න කියල හිතල කඩුව ඇදල ගන්නකොටලු දැක්කේ මේ ඉන්නේ තමන්ගෙම පුත්තරය කියල.

මොන වරද කරත් ඉතිං තමන්ගෙම පුතා මරන්න පුළුවන් කමක් නැති නිසා අක්බාර් අධිරාජයා අන්තිමේදී නියෝග කලාලු අනර්කලී පණ පිටින් ඉද්දි එයාව මැදි කරල බිත්ති දෙකක් බැඳල මරල දාන්න කියල. අර උඩින් තියන සින්දුවේ ඒ සිදුවීම තමයි තියෙන්නේ.

සමහරු නම් කියනව අක්බාර් අධිරාජයා අන්තිමට මේ නියෝගය ඉවත් කර ගත්තලු.ඒත් නියෝගය ඉවත් කර ගන්න කොට අනර්කලී ට වෙන්න ඕන හරිය වෙලා ඉවරලු.

ජහන්ගීර් අධිරාජයා උනාට පස්සේ අනර්කලී මැරිච්ච තැන ස්මාරකයක් ඉදි කළා ලු.පහලින් තියෙන්නේ ඒ ස්මාරකයේ පින්තූරයක්.


අන්තිමටම මේ කතාවත් කියලම ඉන්නම්. අනර්කලී විලාසිතාව කියල ලංකාවේ පවා කාන්තාවෝ අඳින ලස්සන ඇඳුමකුත් තියනව.

සමහරවිට අනර්කලී නිතරම අඳින්න ඇත්තෙත් ඒ වගේ ඇඳුමක් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති ඒ ඇඳුමට එහෙම නමක් වැටුණේ.

ඒ ඇඳුමේ පින්තූරෙකුත් අන්තිමට එකතු කරන්නම්.

Comments