රාජස්ථානය හරහා හමා යන අපේ අභිමානය - රාණි පද්මිණී

වර්තමාන ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය කියන්නේ රාජ්පුත්වරුන්ගේ නිජබිම. රාජ්පුත්වරු දැඩි රණකාමී වගේම කාන්තාවන්ට ඉතාම ගෞරවයෙන් සලකන ජනකොටසක් හැටියට ප්‍රසිද්ධයි. ජෝදා අක්බර් චිත්‍රපටයේ ඉන්න ජෝදා කුමරියත් රාජ්පුත් කාන්තාවක්.

රාජ්පුත් කාන්තාවක් දැක්වෙන සිතුවමක්

ක්‍රි.ව 1200 ගණන් වල අගභාගයේ චිතෝර් නම් බලකොටුවේ සිට රාජස්ථාන් ප්‍රදේශ පාලනය කරන්නේ රතන් සිං නම් පාලකයා විසින්. අපේ කතාවේ කතා නායිකාව වෙන්නේ අන්න ඒ රතන් සිං ගෙ දෙවැනි බිසව වෙච්ච පද්මිණි එහෙමත් නැත්නම් පද්මාවතී රැජිණ.

මේ පද්මිණී දේවිය ශ්‍රී ලාංකික රජ පෙළපතකට අයත් කුමරියක් කියල තමයි රාජස්ථානයේ ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. විකිපීඩියාවෙත් ඒ බව තහවුරු කරල තියන නිසා ඒ ජනප්‍රවාදය බොරුවක් වෙන්න තියන ඉඩකඩ අඩුයි.

පද්මිණී දේවියගේ රටෙන් පැමිණි කෙනෙක් කියල දැනගත්තොත් චිතෝර් බලකොටු ප්‍රදේශයේ වැසියන්ගෙන් අදටත් ශ්‍රී ලාංකිකයන්ට ඉහළ ගෞරවයක් හා සැලකිල්ලකුත් ලැබෙනවලු. අවාසනාවකට දේශීය මූලාශ්‍ර වලින් මේ පද්මිණී දේවිය ගැන වැඩිමනත් තොරතුරක් හොයාගන්න අමාරුයි.

රතන් සිං ට සමකාලීනව දිල්ලි සුල්තානය පාලනය කරන්නේ අලවුදීන් ඛල්ජි නම් ඛල්ජි රාජවංශයට අයත් ප්‍රබලතම පාලකයා. පද්මිණී දේවියගේ රූ සපුව ගැන දැනගත් අලවුදීන්ට ඇය දැක ගැනීමේ දැඩි ආශාවක් ඇති වෙනවා. ඔහු ප්‍රබලයෙක් නිසා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න රතන් සිං ට පුළුවන්කමකුත් නැහැ.

නමුත් පද්මිණී දේවිය නම් මේ ඉල්ලීමට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. කරන්නම දෙයක් නැති තැන අමුතුම ක්‍රමයකට අලවුදීන්ට තම රූපය පෙන්වන්න අවසානයේ පද්මිණී දේවිය කැමති වෙනව.

ක්‍රමය මේකයි....ඇය ඉන්නේ ඇගේ මාළිගාවේ ඇතුළේ....කණ්ණාඩි මගින් ඇයගේ ප්‍රතිබිම්බය පරාවර්තනය කරල කරල අවසානයේ මාළිගාව ඉදිරියේ ඇති පොකුණට වැටෙන්න සලස්වනවා. අලවුදීන්ට බලන්න ලැබුණේ පොකුණෙන් දිස්වන ඇගේ ඡායාව විතරයි.

ඡායාව විතරක් දැකපු අලවුදීන් ඛල්ජි ටික දවසකින් තමන්ගේ හමුදාව අරගෙන චිතෝර් බලකොටුව වටලනව. ඇයව ලබාගැනීමේ අරමුණකුත් අලවුදීන්ට තියෙන්න ඇති චිතෝර් ප්‍රදේශයේ තමන්ගේ දේශපාලන බලය ව්‍යාප්ත කරගැනීමේ අරමුණත් තියෙන්න ඇති.

හැබැයි චිතෝර් කියන්නේ එහෙම පහසුවෙන් යටත් කරගන්න පුළුවන් තැනකුත් නෙවෙයි. ස්වභාවික ආරක්ෂාවත් නොඅඩුවම තියන තැනක්. කාරණේ හොඳටම පැහැදිලි වෙන්න පින්තූරෙකුත් පහලින් එකතු කරන්නම්.

චිතෝර් බලකොටුව

මේ නිසා අලවුදීන් ඛල්ජි තීරණය කරනවා බලකොටුවේ සැපයුම් මාර්ග සියල්ල අවහිර කරන්න. කන්න බොන්න නැතුව මැරෙනවට වඩා යුද්ධ කරල මැරෙන එක හොඳයි කියල හිතපු රතන් සිං ප්‍රමුඛ රාජ්පුත්වරු බලකොටුවෙන් එළියට ඇවිල්ල යුද්ධ කරන්න තීරණය කරනව.

කතාවේ අවසානය නම් සුපුරුදු එකක්ම තමයි.

රාජ්පුත්වරු පරදිනව. රතන් සිං මිය යනවා.

විජයග්‍රාහී අලවුදීන් ඛල්ජි චිතෝර් බලකොටුවට එනකොට දකින්න ලැබෙන්නේ ඔහු කිසිසේත්ම දකින්නට අපේක්ෂා නොකළ දර්ශනයක්...!

අලවුදීන්ගේ බිසවක ලෙස ලජ්ජා සහගත දිවියක් ගෙවනු වෙනුවට මරණය යහපත් යැයි සිතූ පද්මිණී දේවිය ස්වකැමැත්තෙන් ඇවිලෙන දර සෑයක් මත දිවි හානිකරගෙන තිබුණා.

මේ කතාවම පදනම් කර ගත්ත " පද්මාවත් " නම් හින්දි චිත්‍රපටියකුත් නිකුත් උනා..!

Comments