ගැරිසන් සුසාන භූමිය

අයියල මල්ලිල තුන් දෙනෙක් දඩයමේ යන්න සූදානම් උනා.

හැබැයි තුවක්කු තිබ්බේ දෙකයි. බාලම එක්කෙනාට තුවක්කුවක් තිබ්බේ නැහැ. ඒ නිසා අයියල දෙන්න එයාට එන්න එපාම කියල කිව්ව. ඒත් එයා ඒවා ඇහුවේ නැහැ. එයාටත් එන්න ඕනම කියල කිව්ව.

අලියෙක් හම්බ උනොත් මොකද කරන්නේ කියල අයියල එයාගෙන් ඇහුව.

ලී වලින් හදපු කුරුසයක් අතට අරගෙන මල්ලි කිව්ව ඒකෙන් ලැබෙන ආරක්ෂාව නිසා එයාට මොකුත් වෙන්නේ නැහැ කියල.

තුන් දෙනාම ලංකාවේ වනාන්තර ගැන මහ දෙයක් දන්න අය නෙවෙයි. කෑ කෝ ගගහ තමයි දඩයමේ ගියේ.

හදිස්සියෙම අලිය ආව...! තුවක්කු අතේ තිබ්බ වැඩිමල් දෙන්නටවත් වෙඩි තියාගන්න සිහියක් තිබ්බේ නෑ. ඒත් ඒ දෙන්න කොහොම හරි ගහකට නැග ගත්ත.

ඒත් බාලම මල්ලි අලියට අහු උනා.

ගැරිසන් සොහොනෙදි අපි ඒ බාලම මල්ලිගේ සොහොන දැක බලා ගත්ත.

ඊට අමතරව ජෝන් ඩොයිලි ගේ සොහොන, ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගේ බිරිඳගේ සොහොන ඇතුලුව බ්‍රිතාන්‍ය යුගයේ හිටපු ගොඩක් අයගේ විස්තරත් එක්කම සොහොන් දැක බලා ගත්ත. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ පොඩි සාකච්ඡාවකුත් කලා.

පහලින් තියෙන්නේ ඒ ගමනේ ඡායාරූප ටිකක්,


ජෝන් ඩොයිලි ගේ සොහොන
 
ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා ගේ බිරිඳගේ සොහොන ඉදිරිපිට

කවීන්ගෙන් අදහසක්
කවීන්,කවිශ්ක,මම,චාල්ස් මහතා,දිලාන් හසිත් නිවුන්නු සහ ජනිත
ප.ලි

1. විස්තර ලබා දුන්න ගැරිසන් සුසාන භූමිය භාරව ඉන්න චාල්ස් මහතාටත් ළමයින්ගේ ආරක්ෂාවට සහ ඡායාරුප ශිල්පියා හැටියට මගෙත් එක්ක එකතු වෙච්ච රජිත මල්ලිටත් බොහොම ස්තූතියි.

2. සර් අසාධාරණයි. අපිව තමයි කොහේවත් එක්ක ගෙන යන්නේ නැත්තේ...සමානයන්ට අසමාන විදිහට සලකන්න හොඳ නෑ නේ ද ..? වගේ දේවල් කිය කිය හෙට ඉඳන් මගෙත් එක්ක රණ්ඩු අල්ලන්න නම් එපා.

බදුල්ලේ ළමයි ගොඩක් ඉන්න නිසා ක්ෂේත්‍ර චාරිකාවක් යනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. හිතන්න දේවල් ගොඩක් තියනව නෙ.

ගැරිසන් සොහොන තියෙන්නේ නුවර අපේ පන්තියේ ඉඳලා පයින් ඇවිදගෙන යන තරම් දුරකින්. අනික පන්තියේ ඒ කාලේ හිටපු පස් දෙනාම පිරිමි ළමයි. ඒකයි යන්න තීරණය කළේ.

වෙලාව, පහසුව සහ ආරක්ෂාව ගැන හිතල, දෙමවුපියොත් එක්කත් කතා කරල බදුල්ලේ ළමයින්ටත් වැඩසටහනක් කරන්නම් අනාගතයේ දී..!

Comments

Post a Comment