ගොන් පොරයක් හා ජනවර්ගයක් - මිනැන්කබාවූ

වර්තමාන ඉන්දුනීසියාව කියන්නේ දූපත් විශාල සංඛ්‍යාවකින් නිර්මාණය වෙච්ච රටක්. සිතියම් ලකුණු කරන අවස්ථාවල දී ඒ විශාල දූපත් ප්‍රමාණය අතරින් ජාවා, සුමාත්‍රා හා බෝර්නියෝ කියන දූපත් තුනම ලකුණු කරන්න අපි ඉගෙන ගන්නව.

අමතකයි වගේ නම් ඒ දූපත් තුන ඇතුලත් පින්තූරයක් පහලින් එකතු කරල තියනව මතක් කර ගන්න.


අද කතාව සම්බන්ධ වෙන්නේ ඒ දූපත් අතරින් සුමාත්‍රා කියන දූපතට.

මේ සුමාත්‍රා කියන දූපතේ බටහිර පැත්තේ 'බටහිර සුමාත්‍රාව' කියල ප්‍රාන්තයක් තියනව. 'මිනැන්කබාවූ' කියල කියන්නේ මේ ප්‍රාන්තයේ ඉන්න ප්‍රමුඛතම ජනවර්ගය. 'මිනැන්' කියන වචනයේ තේරුම විජයග්‍රාහී කියන එක. 'කබාවූ' කියන වචනයේ තේරුම මී හරකා.

විජයග්‍රාහී මී හරකෙක් ජනවර්ගයක් හා සම්බන්ධ වෙන්නේ කොහොම ද?

ජනප්‍රවාදයේ එන හැටියට කතාව මෙහෙමයි,

ක්‍රි.ව හතරවන සියවසේදී විතර ජාවා දූපත්වල ඉඳල ආපු ආක්‍රමණිකයෝ පිරිසක් සුමාත්‍රාව සහ මිනැන්කබාවූවරුන්ගේ නිජබිම් ප්‍රදේශ ආක්‍රමණය කලා ලු. යුද්ධ කරන එක ලොකු විනාශයක් නිසා දෙපැත්තෙම හිටපු කට්ටිය එකඟ උනාලු ගොන් පොරයක් මගින් ජයග්‍රාහකයා කවුද කියල තීරණය කරන්න.

ඇති කරගත්ත එකඟතාවයට අනුව දෙපැත්තෙන්ම මී හරක් දෙන්නෙක් සටන සඳහා ඉදිරිපත් කරන්න ඕන. දිනන හරකා අයිති පැත්තට සටනේ ජයග්‍රහණය හිමිවෙනව.

ජාවාවරු මේ සඳහා විශාල ශරීරයක් සහ සටන් කරල පුහුණුවක් තිබ්බ මී දෙනක් ඉදිරිපත් කලා ලු. ඒ මී දෙනට මුහුණ දෙන්න තරම් සුදුසුකමක් තිබ්බ මී හරකෙක් කලබලේට හොයාගන්න බැරි වෙච්ච නිසා මිනැන්කබාවූවරු උපායශීලීව පොඩි මී හරක් පැටියෙක් සටනට ඉදිරිපත් කලා ලු.

සමහරු කියනව මේ මී හරක් පැටියගේ අං වල විෂ ගල්වන්න මිනැන්කබාවූවරු කටයුතු කලා ලු. තවත් මතයකට අනුව අං වල තියුණු තල දෙකක් සවි කරල තිබ්බ ලු. සටනට යන්න කලින් කන්න බොන්න මොකුත් දුන්නෙත් නැල්ලු.. !

පොඩි පැටියට ඉතිං සටනක් ගැන ගානක් නැති නිසා සටන් කරන්න පටං ගත්ත වෙලාවේ ඉඳල කලේ ජාවා මී දෙනගේ කිරි බුරුල්ල හොයපු එකලු..!

අං වල ගල්වපු විෂ නිසා හෝ තියුණු තල නිසා හෝ ජාවා මී දෙනගේ බුරුල්ල තුවාල වෙලා මී දෙන මැරිල ජයග්‍රහණය මිනැන්කබාවූවරුන්ට හිමි උනා ලු...!

මිනැන්කබාවූවරුන්ගේ සාම්ප්‍රදායික ගොන්පොර

මිනැන්කබාවූ තමයි දැනට ලෝකයේ තියන විශාලතම මාතෘ මූලික සමාජය. දේපල උරුමය, අනුප්‍රාප්තිය සහ වෛවාහික අයිතිවාසිකම් වගේ කාරණාවල දී මිනැන්කබාවූ කාන්තාවන්ට පිරිමින්ට වඩා විශාල බලයක් නෛතිකවම හිමිවෙනව. වෙලාවක් ලැබුනොත් ඒ ගැන පස්සේ දවසක ලිපියක් ලියන්නම්.

Comments