jewel's of Helen හෙවත් ප්‍රියම් රජුගේ නිධානය

පහත රූපයෙන් දැක්වෙන පුද්ගලයා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. පුරා විද්‍යාව සම්බන්ධ පුරෝගාමියෙකි. තවත් අර්ථකතනයකට අනුව පුරාවස්තු මංකොල්ලකරුවෙකි.


මොහුගේ නම කුමක් ද ?

කතාව

මහා කවි හෝමර් ගේ ඉලියඩ් නම් කෘතිය ඇසුරෙන් නිර්මාණය වෙච්ච ට්‍රෝයි චිත්‍රපටය හැමෝම බලල ඇති. බලල නැත්නම් බලන්න. මොකද ඒක බලන්න වටින චිත්‍රපටියක්.

ස්පාටාව කියන්නේ ග්‍රීක පුර රාජ්‍යයක්. ඒකේ පාලකයා මෙනලවුස්. ඔහුට හිටියා හෙලන් කියල සුරූපි බිරිඳක්.

ඊජියන් මුහුදට දකුණු පැත්තෙන් පිහිටල තිබ්බ වර්තමාන තුර්කියට අයත් ට්‍රෝයි නම් පුර රාජ්‍යයේ රජතුමා ප්‍රියම්. එතුමගේ පුතාල දෙන්න වෙච්ච හෙක්ටර් සහ පැරිස් මෙනලවුස්ගේ ආගන්තුක සත්කාර විඳින්න දවසක් ස්පාටාවට ආව.

ආගන්තුක සත්කාර විඳින්න ආපු පැරිස් මල්ලි හෙලන් නංගිව දැපනේ දාගන ට්‍රෝයි වලට අරගෙන ගියා.

ඇතිවෙන හිතේ අමාරුවත් එක්ක මෙනලවුස්ට ඕන වෙන්නෙ පළිගන්න.

මෙනලවුස් ගේ සහෝදරයා ඇගමෙම්නොන්. මයිසීනියාවේ පාලකයා. එයා දන්නව ට්‍රෝයි කියන්නේ සම්පත් වලින් පිරුණු නගරයක්. ඒක ආක්‍රමණය කරගත්තොත් ආර්ථික වශයෙන් වගේම දේශපාලන වශයෙනුත් උපරිම වාසියක් ලැබෙනව.

ඉතින් ඇගමෙම්නොන් ග්‍රීක පුර රාජ්‍ය විශාල ප්‍රමාණයක් එකතු කරගෙන මේ වෙච්ච අපහාසෙට පළිගන්න ට්‍රෝයි ආක්‍රමණය කරනව. හෝමර්ගේ ඉලියඩ් කෘතියේ දැක්වෙන ආකාරයට මේ සඳහා නැව් දාහක් විතර භාවිතා කරනව.

හෙලන්ව ඉත්තා හැටියට පාවිච්චි කලාට මේක ඇවිල්ල සහමුලින්ම පොලිටිකල් ගේම් එකක්.

නමුත් අපේ කතාව ඒක නෙවෙයි.

ග්‍රීක පුරාවෘත්ත අනුව ක්‍රි.පූ 13 සහ 12 අතර කාලයේ වෙච්ච මේ මහා යුධ මෙහෙයුම මිත්‍යාවක් කියල තමයි 18 වැනි සියවස වෙනතුරුම පිලිගැනීමට ලක්වෙලා තිබ්බේ. ග්‍රීක පුරාවෘත්ත පිලිබඳ අධ්‍යයනය කළාට මේ කතාව සත්‍යයක් කියල පිළිගන්න බොහෝ ඉතිහාසඥයෝ කැමති උනේ නැහැ. විද්‍යාත්මක ඉතිහාසය අතින් ගත්තම ඒකේ එච්චර වරදකුත් නැහැ එක අතකට.

හෙයින්රිච් ශ්ලීමාන් නම් ජර්මානු ජාතිකයා අපේ කතාවට ආදේශ වෙන්නේ මෙන්න මෙතන දී.

ශ්ලීමාන් කියන්නේ සල්ලි තිබ්බ තාත්ත කෙනෙක් ගේ මොලේ තියන පුතෙක්. තාත්තගේ සල්ලිවලට අමතරව තවත් සල්ලි හොයාගන්න තරම් දක්ෂතාවයකුත් ඔහුට තිබ්බ. සල්ලි වලට අමතරව ඔහුගේ තිබ්බ අනෙක් සුවිශේෂී කුසලතාවය තමයි භාෂා අධ්‍යයනයේදී ඔහු දක්වපු දක්ෂතාවය. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඥ්ඥ, පෘතුගීසි, අරාබි, තුර්කි වගේම ග්‍රීක් ලතින් භාෂා පිළිබඳවත් ඔහුට හසල දැනුමක් තිබ්බ බව විකියේ සඳහන් වෙනව.

ඒ කාලේ වෙද්දි හිටපු අනෙක් පුරාවිද්‍යඥයන්ට ට්‍රෝජන් යුද්ධය මිත්‍යාවක් විතරක් උනත් ශ්ලීමාන් දැඩි ලෙසම ඒ පුරාවෘත්තය සත්‍යයක් බවට විශ්වාස කළා.

ශ්ලීමාන් ගේ පුත්‍රයා ගෙ නම ඇගමෙම්නොන්. දුවගේ නම අන්ද්‍රමොක් ( ට්‍රෝයි කතාවේ හෙක්ටර් ගේ බිරිඳ ). ළමයි දෙන්නට දාපු නම් දෙකෙන්ම හිතාගන්න පුලුවන්නේ ඔහු කොච්චර දුරට මේ සිදුවීම සම්බන්ධයෙන් ආශක්ත වෙලා හිටියද කියල.

ක්‍රි.ව 1871 වෙද්දි ඔහු තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් පැරණි ට්‍රෝයි රාජ්‍යය පිලිබඳ කැණීම් ආරම්භ කරනව.

ක්‍රි.ව 1873 අවුරුද්දේ දවසක පුරාවස්තු විශාල ප්‍රමාණයක් එකම ස්ථානයක දී සොයාගැනීමට ඔහුට හැකියාව ලැබෙනව. ඔහු ඒ පුරාවස්තු තොගය නම් කරන්නේ ' ප්‍රියම් රජුගේ නිධානය ' නමින්.

රන්, රිදී සහ ලෝකඩ වලින් නිර්මිත ඒ පුරාවස්තු තොගය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය නිසා තමයි ඔහු පුරාවස්තු මංකොල්ලකාරයෙක් හැටියට නාමකරණය වෙන්නේ.

මම කියනවට වඩා ඒ සිදුවීම ඔහුගේම වචනවලින් අහගන්න එක වඩා හොඳයි.

'කැණීම් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ස්වර්ණමය යමක් ක්ෂණයකින් මගේ අවධානයට යොමු උනා. රත්තරන් ගැන ලෝභයෙන් සිටින කම්කරුවන්ගෙන් සහ පුරාවිද්‍යාවේ අනාගතය උදෙසා එය රැක ගත යුතු නිසා මා ක්ෂණයකින් දිවා විවේකය නිවේදනය කළා. කම්කරුවන් දිවා විවේකය ලබන අතරවාරයේ මගේ බිරිඳගේ උපකාරයෙන් එම පුරාවස්තු තොගය පිටතට ගෙන යෑමට හැකියව ලැබුනා'

අවසාන වශයෙන් ශ්ලීමාන් ගේ බිරිඳ jewel's of Helen නමින් හඳුන්වන එම පුරාවස්තු පැළඳගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයකුත් පහලින් එකතු කරන්නම්.

Comments