රක්ත චරිත්‍ර - අටවන කොටස - අවසන් මෙහෙයුම

ටිනොට්චිට්ලාන් නගරය අත ඇරල පලා යන අවස්ථාවෙදි අතිශය බිහිසුණු ඇස්ටෙක් ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ද වෙච්ච බවත් බොහොම අපහසුවෙන් කෝටේස් ඇතුලු සීමිත සටන්කාමීන් පිරිසකට පමණක් ජීවිත බේරගන්න පුලුවන් වෙච්ච බවත් කලින් ලිපියෙන් කතා කළා.

අද එතැන් සිට අපේ කතාවේ අවසානය දක්වා කතා කරමු.
අපහසුවෙන් ජීවිතේ බේරගත්ත කෝටේස් ඇතුලු පිරිසගේ බලාපොරොත්තුව උනේ හැකි ඉක්මනින් ආරක්ෂාව සහිත ට්ලැට්ස්කාලා නගරය වෙත පහු බහින එක උනත් පැරදිල පලායන ස්පාඥ්ඥයන්ව ජීවග්‍රහයෙන් අල්ල ගන්න ඇස්ටෙක්වරුන්ට ලොකු උවමනාවක් තිබ්බ. ඔවුන්ගේ අරමුණ උනේ තමන්ගේ ජයග්‍රහණය සැමරීමේ උත්සවයෙදි ස්පාඥ්ඥ රුධිරයෙන් දෙවියන් සංතෘප්ත කරන එක.
ඔටුම්බා නිම්නයේදී නැවත වරක් ස්පාඥ්ඥ සහ සහායක සේනාවන් වෙත ප්‍රහාර එල්ල කරන්න තීරණය කරන්නෙ ඒ නිසා. මේ අවස්ථාව වෙනකොට සෑහෙන දුර්වල අඩියකට වැටිල හිටිය උනත් කෝටේස්ගෙ ස්ථානෝචිත ප්‍රඥාව නම් දුර්වල වෙල තිබ්බෙ නැහැ.
ඇස්ටෙක් සටන්කාමීන් සියල්ලට එරෙහිව කරන යුද්ධයකට අවතීර්ණ වෙන්න තමන්ට පුලුවන්කමක් නැති බව හොඳින්ම දන්න නිසා මේ සටනේ වැඩි වගකීමක්, ඉතුරු වෙලා ඉන්න අශ්වාරෝහකයන් වෙත පවරන්න කටයුතු සම්පාදනය කරන්නෙ කෝටේස් කටයුතු කරනව. සතුරු හමුදාවන්හි අණදෙන නායකයන් පමණක් සෘජුවම ඉලක්ක කරල ප්‍රහාර එල්ල කළ යුතු බව තමයි උපාය. ඒ අනුව කෝටේස් පෞද්ගලිකවම Matlatzincatl කියන යුද නායකයව මරා දමන්න කටයුතු කරනව.
කලින් පරාජයට සාපේක්ෂව යම් ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන් උනත් මේ සටනෙදිත් තවත් විශාල ජීවිත ප්‍රමාණයක් ස්පාඥ්ඥයන්ට අහිමි උනා. නමුත් අවසානයෙදී බොහොම අමාරුවෙන් ට්ලැට්ස්කාලා නගරය කරා පහු බහින්න පුලුවන් වෙනව..
ඉතාම ඉක්මනින් ටිනොට්චිට්ලාන් නගරය නැවත අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපායයන් ගැන අලුතෙන් හිතන්න කෝටේස්ට සිද්ද වෙනව. ප්‍රධාන වශයෙන්ම ටිනොට්චිට්ලාන් වෙත සැපයුම් නතර කිරීම හා අවට ප්‍රදේශවල ස්වදේශික කණ්ඩායම් අවනත කරගැනීම කියන කාරණා දෙක පිළිබඳව තමයි ඔහුගේ අවධානය වැඩියෙන්ම යොමු උනේ. නමුත් වාසනාව තිබ්බෙ කෝටේස්ගෙ පැත්තෙ නිසා ඒ දේවල් ගැන එච්චර මහන්සි වෙන්න උවමනාවක් උනේ නැහැ.
කියුබාවෙ ඉඳල ආපු කෝටේස්ගෙ එක සෙබළෙක්ට වසූරිය හැදිල තිබ්බ. විජයග්‍රහණයේ රාත්‍රිය දවසෙ මරණයට පත් වෙච්ච මේ සෙබළගෙ සිරුර ඇස්ටෙක්වරු විසින් පැහැර ගත්ත. වසූරිය රෝගයෙන් ආරක්ෂාවීම සඳහා තියෙන්න ඕන ප්‍රතිශක්තිය ඇස්ටෙක්වරුන්ට තිබ්බෙ නැති නිසා ලැව්ගින්නක් වගේ ලෙඩේ පැතිරිල ගියා.
ඉතාම කෙටි කාලයක් තුළ දේශීය ජනතාවගෙන් මිලියන තුනක් මරණයට පත් උනා. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් සමස්ත දේශීය ජනතාවගෙන් සියයට හතළිහක් එක වසරක් ඇතුලත මිය ගියා. දවස් අසූවක් රජකම් කරපු කුයිට්ලාහුවා අධිරාජයා මිය ගියෙත් වසූරිය හැදිලම තමයි. ඉතිහාසඥයන්ට අනුව ඇස්ටෙක් ශිෂ්ටාචාරය විනාශ කිරීම සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අවියක් වශයෙන් වසූරිය රෝගය ක්‍රියාත්මක උනා..!
මේ අතරවාරයේ තමන්ගෙ යුද ශක්තිය වර්ධනය කරගැනීමට කෝටේස් පියවර ගන්නව. ඔසවාගෙන යා හැකි පාලම් නිර්මාණය වෙනව. වෙඩි බෙහෙත් සහ අශ්වයන් සහිත නැවක් ස්පාඥ්ඥයෙන් ලැබෙනව. ජැමෙයිකාවෙ ස්පාඥ්ඥ ආණ්ඩුකාරතුමාගෙන් නැව් කිහිපයක්ම ලැබෙනව. මේ ව්‍යායාමයේ ප්‍රතිපල හැටියට අශ්වාරෝහකයො 84 ක් ස්පාඥ්ඥ සෙබලුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ අටදහසකට වැඩි දේශීය සේනාංකයක් එකතු කරගන්න පුලුවන් වෙනව.
කුයිට්ලාහුවාගෙ අභාවයෙන් පස්සෙ ඇස්ටෙක්වරුන්ගෙ අධිරාජයා උනේ ගුවැටමොක් කුමාරය. ඔහු දැඩි ස්පාඥ්ඥ විරෝධියෙක්. කෝටේස් සේනා සංවිධානය කරන අතරෙ තමන්ට හැකි උපරිමයෙන් ඇස්ටෙක් යුද බලය වර්ධනය කරන්න ඔහු කටයුතු කරනව. ගුවැටමොක්ගෙ වැඩ කටයුතු අසාර්ථක වෙන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් තිබ්බ. කලින් සඳහන් කරපු විනාශකාරී වසූරිය තමයි පළවෙනි එක. ටිනොට්චිට්ලාන් නගරය වටා හිටපු දේශීය නායකයො එකා දෙන්න ක්‍රම ක්‍රමයෙන් කෝටේස්ට අවනතභාවය පළකිරීම තමයි දෙවැන්න.
අනතුරුව ඇති වෙච්ච සංග්‍රාම මාලාව සඳහාප්‍රධාන අණදෙන නිලධාරීන් හැටියට කටයුතු කරන්නෙ කෝටේස් සහ අල්වරාදෝ. ටෙක්ස්කෝකෝ විල වට කරල ප්‍රවේශ මාර්ග විනාශ කිරීම මගින් නගරය වෙත සැපයුම් නතර කිරීම මූලිවම සිද්ද වෙනව. ඒ කාර්යය කරගෙන යන අතරවාරෙ කලින් අවස්ථාවෙදිත් තමන් බොහොම අමාරුවෙන් ජීවිතය බේරගත්ත ට්ලැකොපාන් ප්‍රවේශ මාර්ගය අසලදි ගුවැටමොක් විසින් එල්ල කරන ලද ප්‍රබල ප්‍රතිප්‍රහාරයකින් බේරිල නැවතත් ජීවිතේ බේරගන්න අල්වරාදෝට පුලුවන් වෙනව.
නගරය වෙත අවසන් ප්‍රහාරය එල්ල කරන්නෙ 1521 අගෝස්තු මාසෙදි. කැස්ටිලෝගේ වාර්තාවන්ට අනුව ලක්ෂයත් දෙලක්ෂ හතළිස්දහසත් අතර ජීවිත හානි ප්‍රමාණයක් සිදු උනාලු...! ටෙක්ස්කෝකෝ විලේ මිනී හතළිස්දාහක් විතර පාවෙමින් තිබ්බලු..! ඉතාම කුඩා වයසෙ හිටපු දරුවන් සහ කාන්තාවන් හැර අනෙක් සියලුම දෙනා මරණයට පත් වෙච්ච බව තමයි සඳහන් වෙන්නෙ. ඇස්ටෙක්වරුන්ගෙ පැත්තෙන් එහෙම උනත් ගෙවිච්ච අවුරුදු දෙකටම ස්පාඥ්ඥයන්ගෙ පැත්තෙන් වාර්තා වෙලා තිබ්බෙ මරණ එක්දාස් අටසීයක් විතරයි.
අගෝස්තු මාසෙ දහතුන්වෙනිද වෙනිද ගුවැටමොක් අධිරාජයා අත් අඩංගුවට පත්වීමත් සමග අති ප්‍රබල ආක්රමණිකයෙකුට එරෙහිව නිර්භීතව සටන් කරමින් හිටපු ඇස්ටෙක්වරු තමන්ගෙ යටත්වීම ප්‍රකාශයට පත් කරනව.
විජයග්‍රහණයේ රාත්‍රියෙදි තමන්ගෙන් කොල්ලකාගත් වස්තුව නැවත ලබාදිය යුතු බව තමයි කෝටේස්ගෙ මුල්ම නියෝගය වෙන්නෙ. නමුත් අත් අඩංගුවට පත් වෙල හිටපු ගුවැටමොක්වත් ටකූබා නම් වංශාධිපතියගෙන්වත් යහපත් පිළිතුරක් ලැබෙන්නෙ නැති නිසා ඔවුන්ගේ යටි පතුල් පුළුස්සමින් ප්‍රශ්න කරන්න කෝටේස් අණ කරනව.
ඒ මොහොත වෙනකොට ගුවැටමොක් සතුව ඉතිරි වෙලා තිබ්බ වස්තු සියල්ලම පැහැරගත්ත කෝටේස් ඒ ඔක්කොම ස්පාඥ්ඥයේ චාල්ස් රජතුමා වෙත යවන්න කටයුතු කරනව.
බිහිසුණු වධ හිංසා මැද උනත් අනිත් වස්තුවට සිද්ද උනේ මොකක්ද කියල හෙලි කරගන්න කෝටේස් අපොහොසත් වෙනව. ඒ සියල්ල ටෙක්ස්කෝකෝ විලට දැමූ බව තමයි අවසන් වශයෙන් ගුවැටමොක් ප්‍රකාශ කරන්නෙ. ඒ විල තිබුණු ස්ථානයේ තමයි වර්තමාන මොක්සිකෝ සිටි නගරය නිර්මාණය උනේ. පස්සෙ ගුවැටමොක්ව එල්ලල මරල දානව.
ඊට ටික කාලෙකට පස්සෙ සිද්ද වෙච්ච ගුවාතමාලා ආක්‍රමණයට නායකත්වය ලබදෙන්නෙ කෝටෙස්ගෙ හොඳම හිතවතා වෙච්ච අල්වරාදෝ. ගුවාතමාලා ප්‍රදේශ යටත් කර ගත්තට පස්සෙ කාලයක් එහෙ ආණ්ඩුකාරය වශයෙන් කටයුතු කරන්නත් ඔහුට අවස්ථාව ලැබෙනව. ඉතාම හොඳින් තමන්ගෙ කාර්යයන් කරගෙන යෑම නිසා පස්සෙ කාලෙක හොන්ඩියුරාස්වල ආණ්ඩුකාරය වශයෙන් කටයුතු කරන්නත් ලැබෙනව. ඔහු මරණයට පත් වෙන්නෙත් එවැනි දේශ ගවේෂණ ව්‍යාපාරයක් අතරතුරදී ඇති වෙච්ච ගැටුමකින්ම තමයි.
ස්පාඥ්ඥයේ චාල්ස් රජතුමා විසින් මේ නව ප්‍රදේශ එහෙමත් නැත්නම් නව ස්පාඥ්ඥය යනුවෙන් හඳුන්වපු ප්‍රදේශවල ආණ්ඩුකාර පදවිය හර්නෑන්ඩෝ කෝටේස් වෙත ලබා දෙනව. මෙක්සිකෝවෙන් නතර වෙන්නෙ නැතුව තමන් යටතේ ඉන්න ඉහළ නිලධාරීන් යොදවමින් දිගින් දිගටම තවත් ප්‍රදේශ ඈඳා ගැනීමටත් ඔහු කටයුතු කරනව. මේ හේතුව නිසා ස්පාඥ්ඥ රජයෙන් නම්බු නාම කිහිපයක්ම ඔහුට ලැබෙනව.
කියුබාවෙ ඉද්දි කෝටේස් කැටලිනා සුවාරේස් නම් තරුණිය සමග විවාහ වෙලා හිටියෙ. කැටලිනා නව ස්පාඥ්ඥෙට මුලින්ම ආවෙ 1522 දි. ටික දවසකින්ම ඇය අබිරහස් විදිහට මරණයට පත් වෙනව. ඇය සාමාන්‍ය කාන්තාවක්. දැන් කෝටෙස් ඉන්න තත්ත්වයට ඇය නොගැලපෙන නිසා කෝටේස් විසින්ම ඇයව ඝාතනය කරපු බව තමයි සඳහන් වෙන්නෙ.
ඔහුගේ දෙවන විවාහය සිද්ද වෙන්නෙ දෝන ජුවානා නම් වංශාධිපති කාන්තාව සමග. මේ විවාහයෙන් දරුවන් තුන් දෙනෙක් ඉපදෙනව. මේ විවාහයෙන් ඉපදිච්ච දොන් මාටින් තමයි කෝටේස්ගෙ සුජාත පුත්‍රයා ලෙස පිළිගැනීමට ලක්වෙන්නෙ.
නමුත් ටික කාලයක් යද්දි හේතු කාරණා බොහොමයක් නිසා ස්පාඥ්ඥ රජය සහ කෝටේස් අතර තිබ්බ සම්බන්ධතාවය පලුදු වෙනව. තමන් පිළිබඳ විශ්වාසය ඇති කරවන්න ඔහු කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. හරි හම්බ කරපු මුදල් විශාල ප්‍රමාණයක් දේශ ගවේෂණ ව්‍යාපාර වෙනුවෙන් වියදම් කරපු නිසා අන්තිම කාලෙ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන්නත් ඔහුට සිද්ද උනා.
කෝටේස් අවසාන කාලෙ තමන් කරපු දේවල් වෙනුවෙන් ගෞරවයක් ලැබෙයි කියල සෑහෙන්න බලාපොරොත්තු උනාලු. නමුත් ඒ කිසිවක් නොලබාම ක්‍රි.ව 1547 දි ඔහු මරණයට පත්වෙනව. එතකොට ඔහුගෙ වයස අවුරුදු 62ක්.
ලෙ මලින්චෙ එහෙමත් නැත්නම් දෝන මරීනට මොකද උනේ....?


චොලූල ආක්‍රමණයෙන් පස්සෙ ඇය ගැන වැඩි යමක් සඳහන් වෙන්නෙ නෑ. කෝටේස්ගෙන් ඇයට දොන් මාටින් නමින් පුතෙක් හිටියත් දෝන ජුවානගෙ පුතා වෙච්ච අනිත් දොන් මාටින් ඉන්න නිසා ඔහුට සුජාත පුත්‍රභාවය හිමිවෙන්නෙ නැහැ. ටිනොට්චිට්ලාන් නගරය යටත් කරගත්තට පස්සෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇයත් එක්ක තිබ්බ දේශපාලනික සහ භාවමය ගනුදෙනුව අවසන් කරන්න කෝටේස්ට සිද්ද වෙනව.
ක්‍රි.ව 1524 හොන්ඩියුරාස් ආක්රමණය සඳහා පිටත් වෙන්න කලින් කෝටේස් ඇයව ජුවාන් ජෙරමිලෝ නම් පෘතුගීසි සෙනෙවියාට විවාහ කරල දෙන්න කටයුතු කරනව. ජෙරමිලෝගෙනුත් ඇයට දරුවන් සිටි බව තමයි සඳහන් වෙන්නෙ. නමුත් වැඩිකල් යන්න කලින් ඇය මියයනව.
කැස්ටිලෝගෙ වාර්තාවන්වල සඳහන් වෙන ආකාරයට ඇය ඉතාම සුරූපී කාන්තාවක්. ලතින් ඇමරිකානු ප්‍රදේශවල ස්පාඥ්ඥ බල ව්‍යාප්තියට මෙන්ම මෙස්ටිසෝ එහෙමත් නැත්නම් මිශ්‍ර ජනතාවක් නිර්මාණය වීමටත් ඇය ලබාදුන් දායකත්වය හරිම සුවිශේෂී එකක්. කෝටේස් ඉන්න සෑම චිත්‍රයකම, මූර්තියකම පාහේ මලින්චෙවත් නිරූපණය වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.
ඇස්ටෙක්වරු බිහිසුණු රක්ත චාරිත්‍රයන්ගෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ඇයගේ දායකත්වයත් අගය කළ යුතුමයි. නමුත් ඇතැම් මෙක්සිකානුවන් ලෙ මලින්චෙව දකින්නෙ ද්‍රෝහී කාන්තාවක් හැටියට විතරයි. 'මලින්චිස්මෝ ' තමයි ඒ ද්‍රෝහීත්වය හැඳින්වීම සඳහා ඔවුන් භාවිතා කරන වචනය.
නිමි.

Comments