රක්ත චරිත්‍ර - හතරවන කොටස - කෝටේස්ගේ යුද ජයග්‍රහණ සහ මොන්ටෙසුමා අධිරාජයා
ටැබැස්කෝ වලදි ඉතාම පොඩි ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිද්ද වෙච්ච බවත් බොහොම පහසුවෙන් ඒක පරාජය කරන්න කෝටේස්ට පුලුවන් වෙච්ච බවත් කලින් ලිපියෙන් කතා කළා.
ටැබැස්කෝ වලදි කෝටේස්ට හම්බ වෙච්ච වටිනාම සම්පත තමයි ල මලින්චේ එහෙමත් නැත්නම් දෝන මරීනා. එයාගෙ උදව්වෙන් තමයි කෝටේස් ස්වදේශික ජනතාව සමග සන්නිවේදන කටයුතු කරන්නෙ.
1519 මාර්තු මාසෙ නැවත ගමන් ආරම්භ කරපු කෝටේස් වර්තමාන වෙරාකෲස් නගරයට ඇවිත් එතන බලය තහවුරු කරගන්නව. පහල තියන පළවෙනි පින්තූරය බැලුව නම් ඔහුගේ ගමන් මාර්ගය පිළිබඳව පොඩි අදහසක් ලබා ගන්න පුලුවන් වෙයි.
කෝටේස් විසින් හිස්පැනියෝලාවෙ සහ කියුබාවෙ ආණ්ඩුකාරය වෙච්ච වැලෙස්කෝගෙ බලය වෙරාකෲස් වලදි ප්‍රතික්ෂේප කරනව. එක නැවක් විතරක් ඉතුරු කරල අනිත් නැව් සියල්ලම ගිනිබත් කරන්නත් ඔහු අණ දෙනව. සමහර ඉතිහාසඥයන් කියන්නෙ නැව් හිල් කරල මුහුදෙ ගිල්ලවන්න ඔහුගෙ අණ ලැබුන කියල.
අරමුණ පැහැදිලියි. තමන් එක්ක ආපු පිරිසට නැවත වැලෙස්කෝ එක්ක සම්බන්ධතාවයක් නිර්මාණය කර ගැනීමට ඉඩ නොදීමත් ඉදිරියට යෑම මිස වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන්ට ඒත්තු ගැන්වීමටත් ඒක ඉතාම හොඳ උපක්‍රමයක්.
ඉතුරු වෙලා තිබ්බ අනිත් නැව තමන්ට ඉතාම හිතවත්ව කටයුතු කරපු අලොන්සෝ හර්නැන්ඩෙස්ගේ නායකත්වයෙන් ස්පාඥ්ඥය බලා පිටත් කරවනව. ස්පාඥ්ඥයේ චාල්ස් රජතුමාට තෑගිත් එක්ක ලියුම් කීපයක් යවන්නත් කෝටේස් කටයුතු කරනව. වැලෙස්කෝගෙ පාලනයෙන් තමන්ව නිදහස් කරන ලෙසත් අත්පත් කරගත් නව ප්‍රදේශවල ආණ්ඩුකාරය හැටියට තමන්ව නම් කරන්න කියලත් ඔහු ඉල්ලා සිටිනව.
රජතුමාගෙ සමාව කෝටේස්ට ලැබුන උනත් ආණ්ඩුකාර තනතුර ඔහුට ඒ අවස්ථාවෙදි ලැබෙන්නෙ නැහැ. ඒ ගැන ඉදිරි කොටස් වලින් කරුණු ඉදිරිපත් කරන්නම්.
දැන් නැවතත් ටිනොට්චිට්ලාන් නගරයට ගිහිං එමු.
ඇස්ටෙක් අධිරාජ්‍යයයේ ට්ලැටොආනි එහෙමත් නැත්නම් රජතුමා හැටියට කටයුතු කරන්නෙ දෙවැනි මොන්ටෙසුමා. ගොඩක් ඓතිහාසික ප්‍රකාශනවල මොන්ටෙසුමාව නිරූපණය වෙන්නෙ මෝඩයෙක් හැටියට. නමුත් ඉතිහාසය කියන්නෙ කතන්දරවලට එහා ගිය ලොකු දේශපාලන සංසිද්ධීන්ගෙන් පිරුණු තැනක්.
මොන්ටෙසුමා රජකමට පත් වෙන්නෙ ක්‍රි.ව 1502 දි. ඔහුගෙ කාලෙදි තමයි ඇස්ටෙක් අධිරාජ්‍යය ඉතා විශාල එකක් බවට පත් උනේ. දකුණු ප්‍රදේශවල හිටපු ගෝත්‍ර රැසක් අවනත කර ගන්නත් ඔහුට හැකියාව ලැබුන.
හර්නෑන්ඩෝ කෝටේස් යුකටාන් වෙරළට ගොඩ බහින්න අවුරුද්දකට කලින් ක්‍රි.ව 1518 දී ජුවාන් සහ කොර්ඩොබා කියන දේශගවේෂකයන් දෙදෙනා අවස්ථා දෙකකදී මෙක්සිකානු වෙරළට ගොඩබැහැපු බව මොන්ටෙසුමා දැනගෙන හිටිය. තමන්ගේ භූමියට එන මේ විදේශිකයන් ගැන මොන්ටෙසුමා අධිරාජයා ඉතාම සැළකිලිමත් උනා විතරක් නෙවෙයි වෙනත් විශේෂ යමක් වෙරළබඩ සිද්ද වෙනව නම් ඒ බව ඔහුට දැනුම් දීමට අණ කරලත් තිබ්බ. ඒ අනුව කෝටේස්ගේ හෝ වෙනයම් විදේශිකයෙකුගේ ආගමනය අපේක්ෂාවෙන් හිටපු දෙයක් බව පැහැදිලි වෙන්න ඕන.
කෝටේස් හමුවීම සඳහා තම නියෝජිතයන් පිටත් කරන්න මොන්ටෙසුමා කටයුතු කරනව. හැකි ඉක්මනින් තමන්ට මොන්ටෙසුමා අධිරාජයා හමුවීමට අවශ්‍ය බව තමයි කෝටේස්ගෙ එකම ඉල්ලීම. නමුත් මේ ඉල්ලීමට මොන්ටෙසුමාගෙන් එකඟතාවයක් ලැබෙන්නෙ නැහැ.
වැලෙස්කෝගෙ අවසරයකුත් නැතුව ආපු නිසා ඉදිරියට යෑම හැර කෝටෙස්ට වෙන විකල්පයකුත් නැහැ.
ඉදිරියට යන අතරවාරයෙදි දේශීය ජන කොටස් සමග සුහදතාවය ගොඩ නගා ගනිමින් මොන්ටෙසුමාට එරෙහිව එකම යුද පෙරමුණකට ඔවුන් ඒකරාශී කරගැනීම පිළිබඳව කෝටේස්ගෙ අවධානය යොමුවෙනව. ටොටොනැක්ස්වරු, ඔටෝමීන් සහ ට්ලැට්ස්කලනයන් එක්ක සහයෝගීතාවය ගොඩනගා ගන්න කෝටේස් සමත් වෙනව. මේ ගෝත්‍ර ඇස්ටෙක් අධිරාජ්‍යය තුල පිහිටල තිබ්බ උනත් මේ අය අධිරාජයාට එතරම් පක්ෂපාතී නැති බව කෝටේස්ට අවබෝධ වෙනව.
කෝටෙස් සතුව තිබුණු වෙනස් විදිහක අවි කිහිපයක් ගැනත් කතා කරන්නම ඕන.
බුල් මැස්ටිෆ් වර්ගයේ බල්ලො කිහිප දෙනෙක්, අශ්වයන් පිට නැගපු අශ්වාරෝහකයන්, ලොකු ශබ්ධයක් පිට කරන නමුත් ප්‍රයෝජනවත්භාවය අඩු කාලතුවක්කු සහ හරස් දුන්න ස්වදේශිකයෝ මීට කලින් දැකපු දේවල් නෙවෙයි.
ස්වදේශික මිනිස්සු හිතාගෙන හිටියෙ අසරුවන් සහ අශ්වයන් වෙනම ජීවීන් කොටසක් කියලලු. යුද්දෙට පුහුණු කරපු බල්ලොන්ට ඔවුන් කවදාවත් මුහුණ දී තිබ්බෙ නැහැ. කාලතුවක්කු වලට පුලුවන් උනාලු ඔවුන්ව සෑහෙන්න බය කරන්න සහ සතුරු පෙරමුණුවල ලොකු සිදුරු නිර්මාණය කරන්න.
ට්ලැට්ස්කලනයන් සමග ඇති වෙච්ච් කෙටි සටන් වලදි මේ අවිවල වැදගත්කම අවබෝධ කරගන්න කෝටේස්ට හොඳ අවස්ථාවක් උදා වෙනව.
සටන්වලින් සහ සාකච්ඡා මගින් ගොඩ නැගිච්ච නව සංධානවල සහයෝගයත් අරගෙන 1519 ඔක්තෝබර් මාසෙ කෝටේස් චොලූලා නගරය කරා තමන්ගේ සේනා මෙහෙයවනව. චොලූලා කියන්නෙ එවකට ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ තිබ්බ දෙවන විශාලතම නගරය. මිනිසුන් විසින් නිර්මාණය කරපු සහ අදටත් දක්නට ලැබෙන විශාලතම පිරමීඩය එහෙමත් නැත්නම් ක්වෙට්සෙල් දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරපු දේවස්ථානය තමයි චොලූල නගරයෙ තිබ්බ විශිෂ්ටතම නිර්මාණය. ලක්ෂයක විතර ජනතාවක් ජීවත් වෙච්ච නගරයක්. චොලූල කියන්නෙ දේවස්ථානම 300කට වැඩි සංඛ්‍යාවක් තිබ්බ ආගමික පදනමක් සහිත නගරයක්. ටිනොචිට්ලාන්වලට සාපේක්ෂව චොලූල වල හිටියෙ ඉතාම කුඩා හමුදාවක්.
කෝටේස්ගෙ හමුදාව මේ ස්ථානයෙදි නතර කරන්න මොන්ටෙසුමාට ලොකු අවශ්‍යතාවයක් තිබ්බ. ක්වෙට්සෙල් දෙවියන්ගේ සහය සමග චොලූලා වල හමුදාවට ඒ කාර්යය ඉටු කරන්න පුලුවන් වෙයි කියල ඔහු විශ්වාස කරන්න ඇති.
නගරයට ඇතුල්වෙලා තුන්වැනි දවස වෙනකොට ආක්‍රමණික ස්පාඥ්ඥයන්ට ආහාර ආදිය ලබාදීම නතර වෙනව. වෙන්න යන කාරණය පිළිබඳව මුලින්ම ඉව වැටෙන්නෙ ට්ලැට්ස්කලනයන්ට. ඔවුන් කෝටේස්ට අනතුරු අඟවනව. නමුත් වටිනාම ආරංචිය ගේන්නෙ දෝන මරීන. චොලූල ප්රධානීන් සහ සෙබලුන් රාත්‍රී කාලයේදී ස්පාඥ්ඥයන් මරා දැමීම වෙනුවෙන් නගරයේ එක්තරා ස්ථානයක අවි ආයුධ රැස් කරමින් පුහුණු වෙමින් ඉන්න බව ඇයට ආරංචි වෙනව.
විජය කුමාරය යක්ෂයන්ගේ උත්සවයට කඩා වැදිල ඔවුන්ව මරා දැම්ම වගේ දෝන මරීනගෙ උපදෙස් ලබා ගත්ත කෝටේස් සහ පිරිස ඒ ස්ථානයට කඩා වැදිල විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදු කරනව. සමහර මූලාශ්‍රවලට අනුව මරා දැමූ සංඛ්‍යාව 30.000 කට වැඩි ලු. පහල පින්තූරේ තියෙන්නෙ චොලූලා සංහාරය දැක්වෙන කල්පිත සිතුවමක්.
මහා සංහාරයෙන් පස්සෙ නගරය ගිනි තියල දානව.
ශිෂ්ට සම්පන්න සමාජයක මතය අනුව බැලුවොත් නම් චොලූලා සංහාරය කියන්නෙ ස්පාඥ්ඥ ඉතිහාසයෙ කලු පැල්ලමක්. නමුත් රුධිරය සහ මරණය අමුතු දෙයක් නොවිච්ච ඇස්ටෙක්වරු අවනත කරගැනීම එහෙම පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙන බවත් මතක තියාගත යුතු කරුණක්.
මේ මිනිස් සංහාරය මගින් ස්පාඥ්ඥයන්ට එකතු වෙලා ඉන්න ස්වදේශික කණ්ඩායම් අතිශය සතුටට පත් වෙනව. එයාල කොහොමත් ' ලේ ' දකින්න කැමති මිනිස්සු නෙ. අනිත් අතට මේ සංහාරය මගින් තමන් පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇස්ටෙක්වරු තුළ නිර්මාණය කරවන්නත් කෝටේස්ට පුලුවන් වෙනව.
චොලූලා වල වැසියන් තමන්ට කපටි සහගත ලෙස සලකපු බවත් එමනිසා ඔවුන්ට දඬුවම් දීමට සිදු වූ බවත් කෝටේස් මොන්ටෙසුමාට දැනුම් දෙනව.
අකමැත්තෙන් උනත් විජිගීෂක ආක්‍රමණිකයාට ටිනොට්චිට්ලාන් නගරය වෙත ප්‍රවේශය ලබාදීම හැර වෙනත් විකල්පයක් මොන්ටෙසුමා අධිරාජයා ඉදිරියේ තවදුරත් ඉතිරි වෙලා නැහැ.
පිහාටු සර්පයා කොටස සමග නැවත හමුවෙමු.
Comments
Post a Comment