මේජර් තෝමස් විලියම් රොජර්ස්

" මේජර් තෝමස් විලියම් රොජර්ස් "

මේජර් රොජර්ස් බදුල්ලෙ උප දිසාපතිවරය සහ හමුදා ප්‍රධානියා හැටියට පත්වෙලා එන්නෙ ක්‍රි.ව 1834 දි. ඌව කියන්නෙ පළමු නිදහස් සටන නිසා සෑහෙන විනාසයකට ලක් වෙච්ච පළාතක්. හම්බන්තොට ඉඳල බදුල්ල දක්වා මාර්ගය හදන්න මූලිකව කටයුතු කරන්නෙ රොජර්ස්. ඊට අමතරව තවත් මාර්ග කීපයකටම රොජර්ස්ගෙ දායකත්වය ලැබුන. විධිමත් පරිපාලන නගරයක් හැටියට බදුල්ල නගරය ගොඩ නගන්න මූලික අඩිතාලම දාන්නෙ රොජර්ස්. වර්තමාන තානායම් ගොඩනැගිල්ල සහ තවත් ගොඩනැගිලි ගණනාවක්ම ඒ කාලෙ ඉදි උනා.
ඉතිහාසය කියන්නෙ පෞද්ගලික බැඳියාවන්ගෙන් අයින් වෙලා හදාරන්න ඕන විෂයක්. රොජර්ස් විසින් අලි විශාල ප්‍රමාණයක් මරපු කතාව බොරු නෙවෙයි. හැබැයි ඒ ක්‍රියාව ඒ කාලෙ මිනිස්සුන්ට දැනුනෙ අද අපිට දැනෙන විදිහටමයි කියල හිතන්න අමාරුයි.
AC කරපු කාමරවල ඉඳල අලි සම්පත සුරකින්න කියල කතා ලියන්න ලේසියි. හැබැයි තවමත් ඌව ඇතුළු පළාත් කීපයකටම තර්ජනයක් වෙලා තියන අලි ගැන කතා කරන්න කවුරුවත් නෑ. ලාහුගල මහියංගණය වගේ පැතිවල හොඳට කිරි වැදිල තියන ලොකු කුඹුරක් විනාස කරල දාන්න අලි දෙතුන් දෙනෙකුට මහ වෙලාවක් යන්නෙ නෑ. කාලය, ශ්‍රමය, මුදල් වියදම් කරගෙන අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්න අහිංසක වගාකරුව ගැන කතා කරන්න කවුරුත් නෑ. මිනිහෙකුගෙ අස්වැන්නකට වඩා අලියෙකුගෙ ජීවිතේ ලොකු වෙච්ච රටක් මේක. කුඹුර කාල යන එක මදිවට ඒක බේරන්න ගියාට පස්සෙ අලියගෙං මැරුං කන්නත් ඕන ඒ මිනිස්සුම තමයි. ලංකාවෙ කැලෑවල අලියට තර්ජනය කරන්න පුලුවන් විලෝපිකයෙක් නෑ. අලියට විරුද්ධව ඉන්න එකම එක විලෝපිකයා මිනිහා විතරයි. අලි විතරක් නෙවෙයි වගාවට හානි කරන ඕන සතෙක් තර්ජනයක්. ආහාර හිඟ වෙන්න ඒ සාධකත් බලපානව.
රොජර්ස් එන්නෙ එහෙම තැනකට. හැමෝටම තුවක්කු නෑ නෙ. බදුල්ල අසලම තියන පුවක්ගොඩමුල්ල කියන ගමේදි විතරක් රොජර්ස් විසින් අලි 200 ක් විතර මැරුව කියල කියනව. ගම් වදින අලි කරදරයෙන් තමන්ව බේර ගත්ත නිසා බදුල්ලෙ මිනිස්සු රොජර්ස්ට අන්වර්ථ නාමයකුත් හදල තිබ්බ. ඒක තමයි" හස්ති රාජ ". අපේ හිටපු පරණ නිළමෙලට වඩා වෙනසක් මේ තරුණ නිර්භීත නිලධාරිය තුල තිබ්බ. අද උනත් අලියෙක් වගේ අවස්ථාවට උචිතව දරුණු වෙන්ඩ පුලුවන් සතෙක් ඉස්සරහට ගිහිල්ල වෙඩි තියන්ඩ කිව්වොත් කීයෙන් කී දෙනෙක් කැමති වෙයිද..?
මේජර් රොජර්ස් හපුතලේ ෂර්වුඩ් වත්තෙදි හෙණයක් වැදිල මැරිල ගියා. ඒකත් ඇත්ත. මැරෙනකොට වයස අවුරුදු 41 යි. කඳුකර ප්‍රදේශවලට හෙණ වදින එක සාමාන්‍යයයි..එයාගෙ සොහොන තියෙන්නෙ නුවර එළියෙ..ඒකටත් හෙණ වදිනව කියනව. ඒ කතා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. යායට සොහොන් තියන තැනක උස එකකට වදින්න පුලුවන්. ඒ නැතත් සමහර තැන්වලට හෙණ ඇදෙනව කියල විද්‍යාත්මක කතාවකුත් තියනව නෙ. අලි මැරීමයි ඒ කතාවයි සම්බන්ධ කරන්න යන එක නම් හරිම අතාර්කිකයි.

ශාන්ත මාර්ක් දේවස්ථානය - බදුල්ල
බදුල්ලෙ ශාන්ත මාර්ක් දේවස්ථානය කියන්නෙ ඒ කාලෙ හැටියට ලොකු මුදලක් වියදම් කරල හදපු තැනක්. තනි පුද්ගල චරිතයක් සිහිපත් වෙන්න හදපු මුළු බදුල්ලෙම තියන එකම විශාල ස්මාරකය තමයි ඒ දේවස්ථානය. ඊට පස්සෙ ආපු කිසිම දිසාපතිවරයෙකුට හෝ දේශපාලකයෙකුට ඒ වගේ ගෞරවයක් ලැබුන කියල කියන්න බෑ. තව විශේෂ කාරණයක් තියනව. ඒ ස්මාරකය හදන්නෙ මුල් වෙන්නෙ එතුමගෙ මිත්‍රයො. කිතුණු සහ බෞද්ධ නායකයො. ඒ ස්මාරකය වර්තමාන බදුල්ල නගරයට අලංකාරයක් සහ වටින කියන ඉතිහාසයක් කියා දෙන තැනක්. මේජර් රොජර්ස් ගැන අපි කරපු යූටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.

Comments