ඌවේ කුමාරයා

මහියංගණයේ සිට පැමිණි කුමාරවරුන් තිදෙනෙක් අනුරාධපුරයේ රජු ඝාතනය කොට රාජ්‍ය බලය ලබාගත් පුවතක් මහාවංශයේ සඳහන් වෙනව. මහසෙන් කියන්නෙත් ඒ පරපුරේම කුමාරයෙක් තමයි.

කාලිංඝ මාඝ පොලොන්නරුවේ බලය තහවුරු කරගත්තට පස්සෙ මිණිපේ ගංදෙණිය පර්වත ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිටි සංඛ නම් සෙනවියෙක් පිළිබඳව ද පැරණි මූලාශ්‍රයවල තොරතුරු සඳහන් වෙනව. ඒත් ඒ ගැන වැඩිදුර තොරතුරු සොයාගැනීම හරිම අපහසුයි.
සේනාසම්මත වික්‍රමබාහු නම් කුමාරයෙක් විසින් ක්‍රි.ව 1469 දී උඩරට ස්වාධීන පාලන ඒකකයක් බිහි කරවන ලද අවස්ථාවේ දී ඌව ප්‍රදේශයද එම රජධානියට යටත් කොටසක් බවට පත් උනා.
අනතුරුව ඌවේ කුමාරයා නම් සංකල්පය හා බැඳුණු ඉතා වැදගත් කතා පුවතක් පෝල් ඊ. පීරිස් මහතා විසින් ස්වකීය Ceylon, the Portuguese Era නම් කෘතියේ දක්වල තියනව. එතුමාගේ වචනවලින්ම ඒ කතාව ලියන්නම්,
" ක්‍රි.ව 1543 දී ද සූසා යාපනයේ තම මෙහෙයුම් කරන අතරවාරයේ 'බටවල' නම් කාන්තාවකගේ අත පතා ඌවේ දෙපාර්ශවයක් අතර කැරැල්ලක් පැන නැංගේය. මේ දෙපාර්ශවයේ නායකයන් දෙදෙනා අවසානයේදී තීරණය කළේ ද්වන්ද කඩු හරඹයකින් ප්‍රශ්නය විසඳා ගැනීමටය. මේ දෙදෙනාගේ උදව්කරුවන් වූ ඉහළ පැලැන්තියේ පිරිස් දෙක කඳවුරු දෙකක් ගසාගෙන යුද වැදීමෙන් මෙම ආරවුල සමථයකට පත්කර ගැනීමට තීරණය කළහ. මෙම ආරවුල කොතරම් දුරදිග ගියේ ද යත් 'ප්‍රදේශය භාර කුමාරයා' ද ඔහුගේ සහායට පැමිණි අතර පෘතුගීසීන් කිහිප දෙනෙකුද මෙම සටනින් මිය ගියහ. "
සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න අපහැදිලි නමුත් "ප්‍රදේශය භාර කුමාරයා" නම් යෙදුමක් සඳහන්වී තිබීම අපගේ අවධානයට යොමුවෙන්නම ඕන. ඒ කතාවෙ ඉතුරු ටිකත් ලියන්නම්,
" අවසානයේ දී මෙයට රජුගේ මැදිහත් වීමක් සිදුවිය. බෝම්බු රාළ සමග ලොරෙන්සෝ ද මැස්ක්වීටාගේ අණ යටතේ පෘතුගීසි භටයන් කිහිප දෙනෙකු ද පිටත් කර හරින ලදි. එහෙත් වීදියේ බණ්ඩාරගේ සිද්ධියේ දී තමන්ට සැලකූ ආකාරය පිළිබඳව කලකිරීමෙන් සිටි බෝම්බු රාළ එම දෙපාර්ශවයෙන් ප්‍රබල පාර්ශවයට සහය දී, මෙම ප්‍රශ්නයට ප්‍රස්තුත වූ කුල කාන්තාව ද විවාහ කරගෙන එම දිස්ත්‍රික්කය භාර කුමාරයා ලෙස ස්ථාපිත විය. තමන් සමග රැඳී සිටීමට අකමැති වූ පෘතුගීසි භට පිරිසද ඔහු විසින් ආපසු යවන ලදි. මෙම දුෂ්කර ප්‍රදේශයේ කඳුකරය මනාසේ පාලනය කරමින් දියුණු කරමින් බුවනෙකබාහු ජීවත් වනතුරු ස්වාධීනව පාලනය කරමින් තම ජීවිතය අවසන් වනතුරු ඔහු කටයුතු කළේය. "
ක්‍රි.ව 1544 කියන්නෙ කෝට්ටේ හත්වන බුවනෙකබාහු සහ සීතාවක මායාදුන්නේ දෙසොහොයුරන් අතර ගැටුම් උත්සන්න වූ කාලය.
මේ කාලෙ හිටපු වීදිය බණ්ඩාර සහ බෝම්බු රාළ ඌවට සම්බන්ධ වෙන්නෙ කොහොමද..?
ක්‍රි.ව 1543 දී මාටින් අපෝන්සු ද සෞසා යාපනය ආක්‍රමණය කරන අතරවාරෙ වීදිය බණ්ඩාර කන්ද උඩරට ආක්‍රමණය කරල ඒ වෙනකොට උඩරට බලයෙ හිටපු වික්‍රමබාහු කියන පාලකයව පරාජය කළා කියල ක්වේරෝස් විසින් සඳහන් කරනව. හැබැයි මේ කාරණේ ගැන සඳහන් කරන්නෙ ක්වේරෝස් විතරයි. මේ වික්‍රමබාහු කියන්නෙ කවුද කියන එක ගැටලුවක්..! නමුත් අපේ කතාවට ඒක එච්චර අදාළ වෙන්නෙ නැති නිසා ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ.
වීදිය බණ්ඩාරගෙ ක්‍රියාකලාපය නිසා උඩරට වැසියන්ට පීඩා විඳින්න වෙච්ච නිසා ඒ ප්‍රදේශවල පාලනය භාර ගන්න ඉලංගකෝන් නිලමෙව පිටත් කරන්න හත්වෙනි බුවනෙකබාහු රජතුමා කටයුතු කරනව. ඒත් වීදිය බණ්ඩාර ඉලංගකෝන්ව අල්ලල මරල දානව. මේ ක්‍රියාවෙන් උරණ වෙච්ච නිසා තමයි හත්වෙනි බුවනෙකබාහු රජතුමා තමන්ගෙම බෑණාව අත් අඩංගුවට ගන්න කියල බෝම්බු රාළව පිටත් කරන්නෙ.
බෝම්බු රාළ වැඩේ හරියට කරනව. ඒත් ටික දවසකින් රජතුමයි වීදිය බණ්ඩාරයි ආපහු හිතවත් වෙනව. මේ හිතවත්වීම බෝම්බු රාළට අවාසි සහගත විදිහට බලපානව.
මේ අතරේ තමයි අර කලින් කොටසෙන් කියපු 'බටවල' නම් කාන්තාව සම්බන්ධයෙන් ඌවේ දෙපාර්ශවයක් අතර ගැටුමක් ආරම්භ වෙන්නෙ. බෝම්බු රාළ එන්නෙ ප්‍රශ්නෙ විසඳන්න විතරයි. ඒත් අන්තිමට මිනිහ ඌවෙ කුමාරය බවට පත් වෙනව. මිනිහ මැරෙනකන්ම ඒ තනතුර දරනව. හත්වෙනි බුවනෙකබාහු සහ මායාදුන්නේ සහෝදරවරුන්ගේ දෙන්නගෙම අනුග්‍රහය එයාට ලැබෙන්න ඇති කියල හිතන්න පුලුවන්.
ඊළඟට ඌවේ කුමාරය ගැන සඳහන් වෙන්නෙ 1603 දි ලංකාවට ආපු සී බෝල්ඩ් ද වාර්ට් නම් ලන්දේසි අද්මිරාල්වරයා හා සම්බන්ධ කතාවෙදි. ඒ කතාවත් ඉතාම රසවත් එකක්. සරලව මෙච්චරයි.
කරටි කැඩෙන්න ගහල රජතුමා හම්බවෙන්න ඇවිල්ල කුසුමාසන දේවි ගැන කට කැඩිච්ච කතාවක් කියපු නිසා ' මේ බල්ලා මැඳ දමවු ' කියල නියෝගයක් දීපු පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා එතනින් යන්න යනව. වාර්ට්ව අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් සිංහල සෙබළු ඉස්සරහට යනකොට මිනිහ කඩුව ඇදල ගන්නව. එතනදි ඇතිවෙන ගැටුමෙන් වාර්ට් මැරෙනව. මේ මරණය ගැන රජතුමාට කියන්නෙ කොහොම ද කියල හැමෝම ඇඹරි ඇඹරි ඉන්නකොට තමයි ඌවේ කුමාරය ඒ වැඩේට ඉදිරිපත් වෙන්නෙ.
මේ ඌවේ කුමාරයා කවුද කියල හරියටම කියන්න බැහැ. බෝම්බු රාළගෙ පරම්පරාවෙ කෙනෙක් වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පළමුවෙනි විමලධර්මසූරියගෙම ගොවි වංශික නෑයෙක් වෙන්නත් පුලුවන්.
පළමු විමලධර්මසූරිය රජතුමා ඌව ගැන ලොකු සැලකිල්ලක් දක්වපු කෙනෙක්. පෘතුගීසින් එක්ක ඇතිවෙච්ච අනවරත අරගලවලදි ඌව පළාතෙ තියන උපාය මාර්ගික වැදගත්කම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබ්බ. බදුල්ල කතරගම දේවාලය කියන්නෙත් ඒ අවබෝධයේම අතුරු ප්‍රතිපලයක් කියල හිතන්න පුලුවන්.
විමලධර්මසූරියගෙ පාලන සමය අභ්‍යන්තර ආරවුල් වලින් නිදහස් කාලපරිච්ඡේදයක්. නමුත් ඔහුගේ මරණයෙන් පස්සෙ බලයට පත් වෙච්ච සෙනරත් රජුට යම් යම් අභියෝග කිහිපයකටම මුහුණ දෙන්න සිද්ද උනා. මිනිහත් ගොවි වංශිකයෙක් නිසා තමයි රාජකීය උරුමය තහවුරු කර ගැනීම වෙනුවෙන් කුසුමාසන දේවිය විවාහ කරගන්න සිද්ධ වෙන්නෙ. ඒක හැමෝම දන්න කතාවක්.
මෙන්න මේ අවස්ථාවෙදි නැවතත් ඌවේ කුමාරයා කරළියට එනව.
'මායාදුන්නේ' තමයි එතකොට ඌවේ කුමාරයාගෙ නම. සී බෝල්ඩ් ද වාර්ට්ගෙ මරණය රජතුමාට දැනුම් දෙන්න ඉදිරිපත් උනෙත් එයාම වෙන්න පුලුවන්. මේ මායාදුන්නේ ඌවෙන් හමුදාවක් හදාගෙන උඩරට රාජ්‍යයයට සහ කුසුමාසන දේවියගේ අයිතිවාසිකම ලබාගැනීම සඳහා කැරැල්ලක් ගහනව. ඒත් ඒක අසාර්ථක වෙනව.
මාතලේ විජයපාල කුමාරයත් කාලයක් ඌවේ කුමාරය හැටියට කටයුතු කරල තියනව. විජයපාල සහ කුමරසිංහ කියන්නෙ විමලධර්මසූරියගෙ ළමයි දෙන්න නෙ. මහා අස්ථාන හෙවත් දෙවන රාජසිංහ විතරයි සෙනරත්ගෙ ළමය. සෙනරත්ට උවමනාව තිබ්බෙ රාජ්‍ය බලය තමන්ගෙ පුතාට ලබල දෙන්න විතරයි. ඒ නිසා තමයි මේ තුන්දෙනා අතරෙ රාජ්‍ බෙදල දෙන්න කටයුතු කරන්නෙ. කුමාරසිංහ තමයි ඌවේ කුමාරය..!
විජයපාල සහ කුමාරසිංහ දෙදෙනා ඌවේ කුමාරවරු හැටියට හඳුන්වනවට වඩා ඌවේ රජවරු හැටියට හඳුන්වන එක තමයි වඩාත් සුදුසු. මොකද මේ තුන්දෙනාම රාජ්‍යත්වය හඟවන " ශ්‍රී " සංකේතය තමන්ගෙ ලේඛණවල භාවිතා කරල තියනව.
ඒ අනුව බැලුවොත් ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක් සඳහා නමුත් ඌව ස්වාධීන පාලන ඒකකයක් හැටියටත් ක්‍රියාත්මක වෙලා තියනව කියල හිතන්න පුලුවන්.
ක්වේරෝස් කියන හැටියට නම් කුමාරසිංහ කියන්නෙ අමු කම්මැලියෙක්. දවල් කාලෙත් නිදාගන්න රුසියෙක්. නමුත් ඒ වගේ කතාවක් එක සැරේම පිලිගන්න හොඳ නැහැ. මොකද ක්වේරෝස් වගේ කෙනෙක් ස්වදේශික පාලකයෙක් ගැන හොඳක් ලියයි කියල හිතන්න අමාරුයි නෙ.
කුමාරසිංහගේ මරණයෙන් පස්සෙ ආයෙත් ඌවේ කුමාරයෙක් ගැන අහන්න ලැබෙන්නෙ නැහැ. දෙවන රාජසිංහ බලයට පත්වීමත් සමඟ අධිකාරම්වරු සහ දිසාවේවරු වගේ තනතුරු හරහා ප්‍රාදේශීය පාලනය සඳහා ක්‍රමවේදයක් නිර්මාණය වෙච්ච බවක් පේන්න තියනව.
කුමාරසිංහ කුමාරය විසින් භාවිතා කරපු රාජකීය මාළිගය, ඉහත සඳහන් කරපු රජයේ නිලධාරීන් විසින් භාවිතා කරා කියල හිතන්න අමාරුයි. වර්තමාන රේස්කෝස් එක ඇතුලු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් ගබඩාගමක් හැටියට වෙන් කරලත් තිබ්බ නෙ. ඒ නිසා ඒක රාජකීය මාළිගයක් හැටියටම පවත්වගෙන යන්න ඇති. රජතුමා හෝ රජ පවුලේ සාමාජිකයන් එන යන වෙලාවට ඉන්න තැනක් තියෙන්නත් එපැයි.
ඉංග්‍රීසිකාරයො ලංකාවට එනකොටත් එතන මාළිගාවක් තිබිල තියනව. ජෝන් ඩේවිගෙ සහ එමර්සන් ටෙනනට්ගෙ සටහන් වල ඒ රාජකීය මාළිගය සහ උද්‍යානය ගැන තොරතුරු ගොඩක් සඳහන් වෙනව. අන්න ඒ රාජකීය මාළිගය පිළිබඳව අපි විසින් කරපු යූටියුබ් වැඩසටහන බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න.

රාජකීය භූමියෙ පිහිටා ඇති ගොඩනැගිල්ල

Comments