Crossing the Rubicon හෙවත් රූබිකෝන් තරණය

Crossing the Rubicon හෙවත් රූබිකෝන් තරණය

ඉංග්‍රීසි භාෂාවෙ Crossing the Rubicon කියල යෙදුමක් තියනව. නොකරම බැරි දෙයක් කිරීම එහෙමත් නැත්නම් අනිවාර්යයෙන්ම ගත යුතුම තීරණයක් ගැනීමක් ගැනීම වැනි අවස්ථාවක ඒ යෙදුම පාවිච්චි කරන්න පුලුවන්. උදාහරණයක් හැටියට අපි හිතමු කිසියම් කෙනෙකුට ඉතාම හොඳ රැකියාවක් තියනව කියල. එයාට ඒ රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් පෞද්ගලික ව්‍යාපාරයක් කරන්න උවමනාව තියනව. නමුත් ඒක ඉතාම අවදානම් වැඩක්. නමුත් ඒ අවදානම එහෙමම තියෙද්දිත් එයා තමන්ගෙ අරමුණ වෙනුවෙන් කිසියම් තීරණයක් ගන්නව නම් ඒක Crossing the Rubicon එකක් හැටියට හඳුන්වන්න පුලුවන්.


මේ කතාව ජුලියස් සීසර්ට සම්බන්ධයි. සීසර්ට ගෝල් දේශයේ ආණ්ඩුකාරකම ලබා දෙන්නෙ ඔහුව රෝමයේ දේශපාලන කටයුතුවලින් ඉවත් කරල තියන්න උනත් සීසර් ගෝල් දේශයේදි අති විශිෂ්ට ජයග්‍රහණ මාලාවක්ම වාර්තා කරනව. මිනිහගෙ ජනප්‍රියත්වය දවසෙන් දවස ඉහළ යනව. ඒ අතරෙ පොම්පෙයි මැග්නස් ප්‍රමුඛ සෙනට් සභාවේ අනුමැතියකින් තොරව සීසර් විසින් කරන ලද ආක්‍රමණ ගැන පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනව. අන්න ඒ වෙලාවෙදි ජුලියස් සීසර් හමුවේ කිසිම විකල්පයක් නෑ. සෙනට් සභාවෙ තීරණයට ඔළුව නැමුවොත් අනිවාර්යයෙන්ම පරිප්පුව කන්න වෙනව. ඒ නිසා එයා එකම එක හමුදා ලීජනයක් විතරක් අරගෙන රෝමය බලා පිටත් වෙනව.
රූබිකෝන් ගඟ කියන්නෙ රෝමයේ දේශ සීමාවක්. හමුදා ලීජනයක් එක්ක ඒ ගඟ තරණය කරනව කියන්නෙ අනිවාර්යයෙන්ම යුද්ධයක් බලාපොරොත්තුවෙන් යන ගමනක්. සීසර්ට වඩා පොම්පෙයි මැග්නස් ප්‍රමුඛ සෙනට් සභාව බලවත්. නමුත් කාලයක් තිස්සෙ එකම හමුදාවක් එක්ක අනවරත යුද්ධ මාලාවක යෙදුණු සීසර්ට ඒක තවත් එක අවදානමක් විතරයි. මිනිහ බය නැතුව රූබිකෝන් ගඟ තරණය කරනව. පොම්පෙයි මැග්නස් ප්‍රමුඛ සෙනට් සභිකයො රෝම නගරය අත ඇරල පැනල යනව. ඊට පස්සෙ වෙච්ච කතන්දර ගොඩක් තියනව. නමුත් මේ මාතෘකාවෙ අරමුණ රූබිකෝන් නදිය තරණය කිරීම පමණයි.

Comments