බදුලු හෝපිටිගමුව ටැම් ලිපිය

" විශාල දාගැබක් අසල හොරබොර වැව පිහිටා ඇත. එකී වැව අසල වනයේ ගල් ටැඹක කොටා ඇති අකුරු කියවිය හැකිනම් මෙම වැව කරවූ රජතුමා පිළිබඳව දැනගත හැකිවනු ඇත. "

ජෝන් බේලි, උප ඒජන්ත, බදුල්ල, 1857

ජෝන් බේලි විසින් ඉහත විග්‍රහ කරන්නේ මහියංගණය දාගැබ අසලින් හමුවූ ටැම් ලිපියක් පිළිබඳවය.
ක්‍රි.ව 1870 දී සොරබොර වැව ප්‍රතිසංස්කරණය කළ යුතු බවට තීරණය වූ බැවින් ජෝන් බේලි විසින් වාර්තාගත කොට තිබූ ඉහත ටැම් ලිපිය බදුල්ල කච්චේරි භූමියේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කටයුතු කරන ලදි.
ක්‍රි.ව 1920 දී එච්.ඩබ්ලිව් කොඩ්රිංටන් මහතාගේ අවධානය මේ වෙත යොමු වූ බැවින් ඇසින් බලා සකස් කරගත් පිටපතක් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත යැවීමට කටයුතු කරන ලදි.
සම්පූර්ණ වශයෙන් ලිපිය කියවා සංශෝධනද සහිතව සංග්‍රහගත කිරීමේ ගෞරවය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සතුය.
මෙම සෙල් ලිපිය තුළ අන්තර්ගත වන්නේ මහියංගණය අසල හෝපිටිගමුව නම් ස්ථානයක පිහිටා තිබූ පැරණි වෙළඳපොලක පාලනය පිළිබඳ තොරතුරුය.
සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ සිරි සංඝබෝ උදා නම් පාලකයෙක් බව සඳහන් වී ඇත. මහාචාර්ය පරණවිතානයන්ට අනුව මේ සඳහන් වන්නේ හතරවන උදය ( 946 - 954 ) රජතුමා පිළිබඳවය.
පැති හතරකින් යුත් ටැම්ලිපියේ උස අඩි 08යි අඟල් 05කි. එහි එක් පැත්තක් අඩි 10 1/2ක් වන අතර, අක්ෂර පේළි 47කි. තවත් පැත්තක් අඩි 09ක් වන අතර, අක්ෂර පේළි 49කි. අනෙක් දෙපැත්ත අඩි 10 බැගින් පළල වන අතර, අක්ෂර පේළි 49 හා 50 බැගින් වේ. මේ ලේඛනය අනුරාධපුර යුගයේ අවසාන කාලය වූ ක්‍රි.ව 10 වැනි සියවසට අයත් අක්ෂර වලින් යුක්තය.
මහියංගණය හෝපිටිගම ආසන්නයහි වූ වෙළෙඳ නගරය භාර ප්‍රධානීන්ගෙන් හා අවශේෂ පාලකයන්ගෙන් නගරවාසීන්ට හා නගරයට එන වෙළෙන්ඳන්ට පැනවූ නිති විරෝධී දඩ හා නීති විරෝධි ආකාරයට අය කරගත් දඩ මුදල් මෙන්ම වෙනත් අයථා ගනුදෙනු සිදුවී තිබුණු බැවින් ඒ පිළිබඳව මහියංගණ විහාරය වැඳීමට පැමිණි රජුට සැල කිරීමත් සමඟ රජු නැවත එවැන්නක් සිදු නොවන සේ පනවන ලද නියෝග මෙම ටැම්ලිපියේ අන්තර්ගතය.
බදු අය කිරීමට ගෙවල්වලට යෑම, අඹුදරුවන්ට පීඩාවන සේ කඩාවැදී බදු අය කරගැනීම ආදිය මේ ටැම්ලිපිය මගින් තහනම් කොට ඇත.
ගමෙහිදීම දඩ අය කරනු මිස ගම් වැසියන් ගමෙන් පිට වෙනත් ස්ථානයකට ගෙන්වා දඩ අය කර ගැනීම, රාජ්‍ය නිලධාරීන් ගම්වැසියන් දෙන මස්, රා, කිරි, දීකිරි, ගිතෙල් අල්ලස් ලෙස ගැනීමද මෙයින් තහනම් කොට තිබේ.
බදු මුදල් නොගෙවා නිලධාරීන්ට අල්ලස් දීම එකලද සිදු වී ඇති බව මෙන්ම හොර තරාදි, කල් ඉකුත් වූ ද්‍රව්‍ය වෙළෙඳාම හා කූට ව්‍යාපාරද මේ ලිපිය මගින් තහනම් කොට ඇත.
ගම් කාර්යභාර රාජ්‍ය නිලධාරීන් අටදෙනා ගම්වැසි ගෙවල්වල නවාතැන් නොගත යුතුය යන්න මෙන්ම, රජුන් හෝ ආදිපාදවරුන් පැමිණි විට තෑගිබෝග ලබා දිය යුතු බවද සඳහන්වේ.
පොහෝදින වෙළෙඳාම් කරන්නන් දඩ ලෙස මහියංගණ සෑයට තෙල් ලබා දිය යුතුය.

මෙම සෙල්ලිපිය වර්තමානයේ බදුල්ල සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ තැන්පත් කොට ඇත. ඒ ගැන අප විසින් කරන ලද යූටියුබ් වැඩසටහන නැරඹීම සඳහා මෙතන ක්ලික් කරන්න.

Comments