ඩග්ලස් විල්සන්ගේ මරණය - උඩරට මහ කැරැල්ල

වෙල්ලස්සේ දේශ සීමාවන්ට ආසන්නව ඌවේ ගිණිකොණ ප්‍රදේශයේ වඩුග ඇඳුමකින් හෝ ඇතැම්විට භික්ෂූන්ට අයත් කහ සිවුරකින් හෝ සැරසී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පිළිබඳ ආරංචිය බදුල්ලේ උප දිසාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් වෙත මුලින්ම වාර්තා වූයේ 1817 සැප්තැම්බර් මාසයේ දී ය.

සොෆියා විල්සන් නම් වූ විසි එක් හැවිරිදි ඔහුගේ නව යොවුන් බිරිඳ ද ඊට මාස හතරකට පෙර හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් බදුල්ලේ දී මියගොස් තිබුණි.
කැරලිකරුවන් අල්ලා ගැනීම සඳහා මහනුවරින් ලද උපදෙස් ප්‍රකාරව චරපුරුෂයන් යොදවන ලද නමුත් එකී උත්සාහයන් සියල්ල අසාර්ථක වූ බැවින් එකල ඌවේ රාජකාරියේ යෙදී සිටි කාර්යක්ෂම මෙන්ම බුද්ධිමත් මරක්කල මිනිසෙකු වූ හජ්ජි මුහන්දිරම් ඒ සඳහා යෙදවීමට කටයුතු කරන ලදි.
තමන් වෙත ලැබුණු නියෝග අනුව බින්තැන්නේ දංකුඹුර බලා පිටත් වූ මඩිගේ මුහන්දිරම් හජ්ජි මරික්කාර් හට ආරංචි වූයේ වඩුග ජාතිකයා හා අනෙකුත් භික්ෂූන් වහන්සේලා වැද්දන් දෙසීයකගේ පමණ ආරක්ෂාව සහිතව කෙහෙල්වැල්ලේ සිටින බවය.
ඉදිරියට යාම අනාරක්ෂිත වූ බැවින් පින්නවැල්ල කරා පසුබැසීමට තීරණය වූ නමුත් පින්නවැල්ලේ දී පොලු මුගුරු රැගත් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසකගේ විරෝධයට මුහුණ දීමට මරික්කාර්ට සිදු විය. ඔවුන්ගෙන් සිව් දෙනෙකු සිරභාරයට ගෙන බදුල්ලට යැවීමට සමත් වූ නමුත් මද වේලාවකට පසුව පැමිණි ඌවේ ජනප්‍රධානියෙකු වූ බූටාවේ රටේ රාල විසින් හජ්ජි මරික්කාර් ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන " දෙයියෝ " නමින් හඳුන්වනු ලබන වඩුග ජාතික අමුත්තා වෙත යැවීමට කටයුතු කරන ලදි.
මෙම ආරංචිය ලැබීමත් සමග වහාම ක්‍රියාත්මක වූ උප ඒජන්ත ඩග්ලස් විල්සන් ලංකා පළමුවන සේනාංකයේ ලුතිනන් නිව්මන් යටතේ ජා සහ කාපීරි සාජන්ට්වරු කිහිපදෙනෙක් සහ සෙබළුන් විස්සකගෙන් සමන්විත කණ්ඩායමක් සමග බදුල්ලෙන් පිටත් විය.
පළමු දින රාත්‍රිය අලුපොතදී පහන් කිරීමට ඔවුනට සිදු වූ අතර පසුදා පස්වරු තුනට පමණ පින්නවැල්ලට ළඟාවීමට හැකියාව ලැබුණි. නමුත් මුස්ලිම් මිනිසුන් දෙතුන් දෙනෙකු හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු පින්නවැල්ලේ නොසිටි බැවින් " බූටාව " කරා ගමන් කිරීමට තීරණය විය.
බූටාවේ රටේ රාළගේ වලව්ව ඉදිරිපස හෙළි පෙහෙලි කර තිබූ නමුත් අනෙක් තුන් පැත්තම කැලෑවෙන් වටවී තිබුණි. දුනු හී රැගත් 200ක පමණ පිරිසක් වලව්ව ආරක්ෂා කරමින් සිටියහ.
විල්සන්ගේ මුල්ම අරමුණ වූයේ ප්‍රබල ජන ප්‍රධානියෙකු වූ බූටාව සමග සාකච්ඡාවක් පැවැත්වීම මගින් ලේ වැගිරීමකින් තොරව ගැටුම අවසන් කර ගැනීමයි. එකී අරමුණ ඉටුකරවා ගැනීම සඳහා තෙමේම තෝල්කයෙකු හා ලැස්කාර් භටයන් දෙදෙනෙකු සමග ඉදිරියට ගිය නමුත් ඊතල කිහිපයක් විදින ලද කැරලිකරුවෝ කිසිදු සාකච්ඡාවකින් තොරව කැලයට පලාගිය බැවින් එකී උත්සාහය අසාර්ථක විය.
එදින රාත්‍රිය බූටාවේ ගතකළ විල්සන් ඇතුළු භට පිරිස පසුදින කොට්ටෝරවත්ත බලා පිටත්වූහ. එහිදී ද දුනු හී රැගත් පන්සියයක් හෝ හයසියයක පමණ පිරිසක් රැස්වී සිටියහ.
ඩග්ලස් විල්සන්ගේ මූලික උත්සාහය වූයේ පෙර සේම සාකච්ඡාව මගින් ප්‍රශ්නය විසඳා ගැනීම වූ බැවින් ලුතිනන් නිව්මන් හට යාර 50 ක් පමණ ඈතට යන ලෙස නියෝග කරන ලදි.
අනතුරුව තෙමේම කැරලිකරුවන් ඉදිරියට ගිය නමුත් තමන් සන්තකයේ ආයුධ නොමැති බව පෙන්වා සිටීම සඳහා ඔහුගේ කබාය ගලවා පෙන්වන තුරුම කැරලිකරුවෝ ඔහුගේ සමීපයට ළඟාවීම ප්‍රතික්ෂේප කළහ.
අනතුරුව තමන් බදුල්ලේ ඉංග්‍රීසි තානාපති බව හඳුන්වාදුන් හෙතෙම විසිර ගොස් ස්වකීය එදිනෙදා කටයුතුවල නිරතවන ලෙස කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටින ලදි. එහෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පෙර සිටි රජු මෙන් තමන්ට කාරුණිකව නොසළකන බව කියා සිටි කැරලිකරුවෝ එකී යෝජනාවට එකඟ නොවන බැවින් වහා ඔවුන්ගෙන් ඉවත්ව යන ලෙස විල්සන්ගෙන් පෙරලා ඉල්ලා සිටින ලද බැවින් ස්වකීය භට පිරිස කරා පැමිණි හෙතෙම පොල්වත්ත හා තල්දෙන හරහා නැවත බදුල්ල කරා ගමන් ආරම්හ කරන ලදි.
එදින සවස තුන පමණ වනවිට ඊතණවත්තේ දේවාලය අසලට ළඟා වූ මෙම පිරිසට කිසියම් අනතුරක සේයාවක් නිරීක්ෂණය වූ බැවින් ලුතිනන් නිව්මන් හට ඉදිරියට යන ලෙස නියෝගයක් නිකුත් කිරීමට විල්සන් විසින් කටයුතු කරන ලද අතර ලැස්කාර් භටයන් කිහිප දෙනෙක් සහ සහ තෝල්කයකු සමග හෙතෙම දේවාලය අසල නතර වී සිටීමට තීරණය කරන ලදි.
නියෝගය ප්‍රකාරව නිව්මන් ඇතුළු පිරිස සැතපුම් කාලක් පමණ ඉදිරියට ගමන් කොට නතර වූහ. පැය කාලකින් පමණ එම ස්ථානය කරා ළඟා වූ තෝල්කයාගෙන් ලද තොරතුරකට අනුව නැවත එම ස්ථානය කරා හමුදා මෙහෙයවූ ලුතිනන් නිව්මන් හට පළායමින් සිටි ලැස්කාර් භටයන් දෙදෙනෙකු හමු වූ අතර ඔවුන් කියා සිටින ලද්දේ කැරලිකරුවන් විසින් විල්සන් මහතා සහ ලැස්කාර් භටයෙකු මරා දමන ලද බවයි.
ලුතිනන් නිව්මන් සහ භට පිරිස නැවතත් ඊතණවත්තේ දේවාලය කරා ගමන් කරන අතරවාරයේ හී සැර විදිමින් සතුරා ඉදිරියට පැමිණි නමුත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව ඔවුහු වනයට පලවා හැරීමට හැකියාව ලැබුණි.
අනතුරුව භට පිරිසේ උත්සාහය වූයේ ඩග්ලස් විල්සන් සොයා ගැනීමයි. එකී සෙවීම අතරවාරයේ මරන ලදැයි කියන ලද ලැස්කාර් භටයා ඔවුනට හමුවිය. හී පහර දෙකකින් ඔහුට තුවාල සිදුවී තිබූ බැවින් පසුදා උදෑසන ඔහුගේ මරණය සිදුවිය.
කොතෙක් සෙවූවද ස්වකීය අණ දෙන නිලධාරියා වූ ඩග්ලස් විල්සන්ගේ සිරුර හමු නොවූ බැවින් කැරලිකරුවන්ගේ හී සැර පහරට ගොදුරු වෙමින් නමුත් නැවත බදුල්ල කරා පසුබැසීමට ලුතිනන් නිව්මන් ඇතුළු පිරිසට සිදුවිය.
ප.ලි
කැරලිකරුවෝ ඩග්ලස් විල්සන්ගේ හිස කපා " දෙයියෝ " නමින් හඳුන්වන රාජ ප්රතිරූපකයා වෙත යැවූ බව පසුව ආරංචි විය.
ඩග්ලස් විල්සන්ට මාරක හී පහර විදින ලද්දේ අති දක්ෂ දුනුවායෙකු වූ මීගහපිටියේ වලව්වේ රටේ රාල විසින් බව ද ආරංචි විය.

ඩග්ලස් විල්සන්ගේ මරණය සිදුවූ ස්ථානයේ ඉංග්‍රීසි පාලකයන් විසින් පිහිටුවන ලද ස්මාරකය

මූලාශ්‍ර
තෙන්නකෝන් විමලානන්ද, උඩරට මහ කැරැල්ල
Herbert White, Manual Of the province of Uva

Comments