රක්ත චරිත්‍ර - තුන්වන කොටස - මෙක්සිකෝවේ කුවේණිය සහ හර්නෑන්ඩෝ කෝටේස්
මෙක්සිකෝවේ කුවේණිය සහ හර්නෑන්ඩෝ කෝටේස්
උතුරු ඇමරිකාවෙ හිටපු මෙෂීකා නමින් හඳුන්වපු ජනකොටසක් මෙසෝ ඇමරිකානු කලාපයට සංක්‍රමණය වීම ගැනත් ඒ සංක්‍රමණිකයන් විශාල විලක් මැද තමන්ගේ අගනුවර වෙච්ච ටිනොට්චිට්ලාන් නගරය නිර්මාණය කර ගැනීම ගැනත් ඔවුන් අනුගමනය කළ අමුතු විදිහේ රක්ත චාරිත්‍රයන් පිළිබඳවත් කලින් ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් උනා.
ඒ කොටස් ටික කියවනකොට කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇස්ටෙක් ශිෂ්ටාචාරය කියල කියන්නෙ අනෙක් ශිෂ්ටාචාරවලට සාපේක්ෂව ම්ලේච්ඡ එකක් කියල. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඇස්ටෙක්වරු කියන්නෙ දියුණු මිනිස් ප්‍රජාවක්. හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණ නිසා එයාල අතර ඉංජිනේරුවො, දාර්ශනිකයො වගේම විශිෂ්ට කලා නිර්මාණ ශිල්පීන් සෑහෙන්න හිටිය. නැත්නම් කොහොමද අර මායර් දේවස්ථානය වගේ විශාල ඉදි කිරීම් කරන්නෙ....?
අවුලකට කියල තිබ්බෙ ඉතිං අර අමුතු ජාතියෙ බිලි පූජා වැඩ ටිකයි ඒ හා බැඳුණු විශ්වාසයන් ටිකයි තමයි. ඒ දේවල් වලට උනත් කරන්න දෙයක් නෑ. ඕනම රටක ඉතිහාසය හොයල බැලුවොත් ඒ වගේ දේවල් අඩු වැඩි වශයෙන් හම්බ වෙනව.
දැං කතාවට.
හර්නෑන්ඩෝ කෝටේස් කියන ස්පාඥ්ඥ ජාතිකයා ඉපදුනෙ 1485 දි. එයාගෙ පවුලෙ අය සාම්ප්‍රදායික වංශාධිපති මිනිස්සු උනත් එහෙමට ලොකු ආර්ථිකයක් තිබ්බ මිනිස්සු නෙවෙයි. වයස අවුරුදු 14ක් වෙද්දි නීතිය ඉගෙන ගන්න කියල සැලමන්කා විශ්ව විද්‍යාලයට ඇතුලත් උනාට මෙයාගෙ හිත ගියෙ නීතිය ඉගෙන ගන්න නෙවෙයි.
ඒ කාලෙ ඒ කියන්නෙ ක්‍රි.ව 1499 වෙද්දි ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකාව හෙවත් නව ලෝකය අනාවරණය කරල තිබ්බ නිසා යුරෝපෙ හිටපු තරුණ කොල්ලන්ට හැදිල තිබ්බ දේශ ගවේෂණ පිස්සුව කෝටේස්ටත් හැදුන. ඉගෙන ගන්න එක පැත්තක තියල ක්‍රි.ව 1504 දි මිනිහ හිස්පැනියෝලා දූපතට පිටත් වෙනව.
එහෙදි ඉඩම් හිමි වැවිලිකරුවෙක් වගේම නොතාරිස්වරයෙක් හැටියට කටයුතු කරන කෝටේස් ක්‍රි.ව 1511 දි දියාගෝ වැලෙස්කෝගේ නායකත්වයෙන් සිද්ද වෙච්ච කියුබානු ආක්‍රමණයට සහය වෙනව. ඊට පස්සෙ කියුබාවට ගිහිං සන්තියාගෝ නගරයේ නගරාධිපතිවරය හැටියටත් කාලයක් කටයුතු කරනව.
හැබැයි ඉතිං කෝටේස් කියන්නෙ එහෙම පොඩි තනතුරක් දීල සතුටු කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි.
ඒ හින්ද වැලෙස්කෝගෙ අවසරය ලබා ගන්නෙත් නැතුව නැව් එකොළහක්, මිනිසුන් 500 ක් අශ්වයෝ 13ක් සහ කාලතුවක්කු කීපයක් එකතු කරගත්ත කෝටේස් ක්‍රි.ව 1519 දි යුකටාන් වෙරළට ගොඩ බහිනව. ඇත්තම කියනව නම් මෙහෙම ප්‍රදේශයක් තියනව කියල ස්පාඥ්ඥයො වගේම පෘතුගීසින් ඒ වෙනකොටත් දැනගෙන තමයි හිටියෙ. නමුත් ප්‍රශ්නය වෙලා තිබ්බෙ මේ ප්‍රදේශය හරියාකාරව අවනත කරගන්නෙ කොහොමද කියන එක. කෝටේස් විසින් වැලෙස්කෝගේ අවසරය නැතුවම කරන්න යන්නෙ අන්න ඒ කාර්යය.
යුකටාන් වෙරළ දිගේ ඉදිරියට එනකොට හමුවෙන ටැබස්කෝ කියන ස්ථානයේදි දේශීය සටන්කරුවන්ගෙන් සුලු ප්‍රහාරයක් එල්ල උනත් ඉතාම පහසුවෙන් ඔවුන්ව යටත් කරගන්න කෝටේස්ට පුලුවන් වෙනව.
අද කතාවෙ කතා නායිකාව වේදිකාවට එන්නෙ අන්න ඒ සිදුවීමත් එක්ක.
ල මලින්චෙ, මලිනලි එහෙමත් නැත්නම් මලින්ට්සෙ කියන්නෙ ටැබැස්කෝ වල ජීවත් වෙච්ච වහල් කෙල්ලෙක්. කෝටෙස් විසින් ටැබස්කෝ යටත් කරගත්තට පස්සෙ එහෙ මිනිස්සු ආක්‍රමණිකයන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම වගේම අනිත් අවශ්‍යතා වෙනුවෙන් තරුණ කාන්තාවන් ලබාදීමටත් කටයුතු කරනව.
මෙහෙම ලබාදෙන කාන්තාවො විස්සක් අතරින් 'ල මලින්චෙට ' සුවිශේෂී හැකියවක් තියනව. එයාට පුලුවන් ඇස්ටෙක් භාෂාව සහ මායන්වරුන්ගෙ භාෂාව කියන භාෂාවන් දෙකම කතා කරන්න. කෝටේස් ළඟ ඉන්නව මායන් භාෂාව කතා කරන්න පුලුවන් පූජකවරයෙක්.ඒ නිසා ' ල මලින්චෙ ' ගෙ මේ හැකියාව තමන්ගෙ ඉදිරි වැඩකටයුතු සඳහා කෝටේස්ට හරිම වැදගත්.
තවත් රසවත් කතාවක් තියනව. ඒකත් කියලම ඉන්නම්.
මේ කාන්තාවෝ විස්සම ගෙනල්ල එයාලව කතෝලිකයන් හැටියට බෞතිස්ම කරන්න කෝටේස් කටයුතු කළා ලු...! බෞතීස්ම කරාට පස්සෙ එයාලගෙ නම් වෙනස් කරනව නෙ. ල මලින්චෙට දාපු නම තමයි ' දෝන මරීනා '....පහුවදා ආපහු එන්න කියල එයාලට දාපු නම් මොනවද කියල කෝටේස් එයාලගෙන්ම ඇහුවලු...! ල මලින්චෙට විතරලු මතක තිබ්බෙ තමන්ට දාපු නම.
කාරණේ පැහැදිලියි. ල මලින්චෙ හෙවත් දෝන මරීනා බුද්ධිමත් කාන්තාවක්. බර්නාල් ඩි කැස්ටිලෝගේ වාර්තාවන්ට අනුව ඇය බුද්ධිමත් වගේම අතිශය රූමත් කාන්තාවක්.
ඇස්ටෙක්වරුන්ගේ අනාගත ඉරණම තීරණය කිරීමේ කාර්යයේ දී හර්නෑන්ඩෝ කෝටේස්ගෙ දකුණු අත වෙන්නෙ එයා. පහල තියෙන්නෙ කෝටේස් සහ දෝන මරීනා දැක්වෙන කල්පිත සිතුවමක්.
කාන්තාවන් සම්බන්ධයෙන් දෝන කියන වචනය භාවිත කරන්නෙ ගෞරවය හඟවන්න බව අපි දන්න දෙයක් නෙ. උඩරට කුසුමාසන දේවියට කිව්වෙත් දෝන කතරිනා කියලනෙ. දේශීය ජනතාව අතර සහ කෝටේස් සමග පැමිණි ස්පාඥ්ඥවරු අතරත් දෝන මරීනට ඉහළ ගෞරවයක් සහ පිළිගැනීමක් ලැබුන. කලින් වහල් කෙල්ලෙක් උනත් ඇය දැන් රැජිණකට සමාන කෙනෙක්.
කෝටේස්ගෙන් ඇයට දොන් මාටින් කියල පුතෙකුත් ලැබෙනව. ලතින් ඇමරිකානු ප්‍රදේශවල ස්පාඥ්ඥ සහ දේශීය ජනතාව මිශ්‍ර වීමේ මුල්ම අවස්ථාවක් තමයි ඒක.
හර්නෑන්ඩෝ කෝටේස්ගේ යුද ජයග්‍රහණ සහ මොන්ටෙසුමා අධිරාජයා ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.
Comments
Post a Comment