රක්ත චරිත්‍ර - හත්වන කොටස - විජයග්‍රහණයේ රාත්‍රිය
මොන්ටෙසුමා අධිරාජයාගේ මරණයෙන් පස්සෙ ටිනොට්චිට්ලාන් නගරය තුළ ස්පාඥ්ඥයන්ට තිබ්බ ආරක්ෂාව අහිමි වෙච්ච බවත් ඉතාම ඉක්මනින් නගරයෙන් ඉවත් විය යුතු බවට තීරණයක් ගන්න සිද්ද වෙච්ච බවත් පහුගිය ලිපියෙන් කතා කළා.
අද එතැන් සිට,
මොන්ටෙසුමා අධිරාජයාගෙන් පස්සෙ ඇස්ටෙක්වරුන්ගේ පාලකයා බවට පත් උනේ මොන්ටෙසුමාගෙම බාල සහෝදරයෙක් වෙච්ච කුයිට්ලාහුවා. සමහර ඉතිහාසඥයන්ට අනුව නම් කුයිට්ලාහුවා බලයට පත් වෙන්නෙ මොන්ටෙසුමාගෙ මරණය සිද්ද වෙන්න දින කිහිපයකට කලින්. මොන්ටෙසුමා ස්පාඥ්ඥයන්ගේ ප්‍රාණ ඇපකාරයෙක් වෙච්ච නිසා අරාජික වෙච්ච ඇස්ටෙක් ප්‍රභූවරු විසින් මේ තීරණය ගත්ත බව තමයි ඒ මත වලින් කියවෙන්නෙ.
කොහොම රජකමට පත් උනත් කුයිට්ලාහුවාට රජකම් කරන්න ලැබෙන්නෙ නම් දින 80 ක් විතරයි. ඒ හා බැඳුණු කතාව ඊළඟ ලිපියෙන් කියන්නම්.
කුයිට්ලාහුවා රජු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වෙච්ච ගුවැටමොක් කුමරයා යටතේ සංවිධානය වෙච්ච සේනාවන් කුමන හෝ මොහොතක තමන් වෙත කඩා පනින්න නියමිත බව ක්වෙට්සෙල් හෙවත් පිහාටු සර්පයාට (Feathered Serpent) ඇඳල හිටපු කෝටේස් ඇතුළු පිරිසට අවබෝධ වෙනව.
ජූනි මාසෙ අන්තිම සතියෙදි දින හතක් වෙනුවෙන් සටන් විරාමයක් ඉල්ලා සිටීම සඳහා කුයිට්ලාහුවා වෙත පණිවිඩකරුවන් යැවීමට කෝටේස් කටයුතු කරනව. ඇස්ටෙක්වරුන්ගෙන් කොල්ලකාගත් බඩු බාහිරාදිය නැවත ලබාදීමටත් සටන් විරාම දින හත අවසානයේ දී සාමකාමීව නගරයෙන් ඉවත්වීමටත් මෙමගින් කෝටේස් එකඟ උනා.
අදාළ කාලය තුළ කුමන හෝ උපක්‍රමයක් මාර්ගයෙන් කොල්ලකාගත් වස්තුව නගරයෙන් පිට කිරීම තමයි කෝටේස්ගෙ අරමුණ උනේ. ඒත් මේ වෙනකොට සතුරා පිළිබඳව ඉතාම හොඳ අවබෝධයක් ලබාගෙන හිටපු ඇස්ටෙක්වරු ටෙක්ස්කෝකෝ විල මැද පිහිටල තිබ්බ ටිනොට්චිට්ලාන් නගරය වෙත ප්‍රවේශ වීම සඳහා භාවිත කළ මාර්ග අටෙන් හතරක්ම විනාශ කරල දාන්න කටයුතු කරනව. අනිත් මාර්ග හතර සඳහා ප්‍රබල ආරක්ෂක රැකවල් යොදනව.
නගරයෙන් ඉවත්වීම සඳහා ආරක්ෂක රැකවල් යොදන ලද මාර්ගයක් වෙනුවට විනාශ කරන ලද මාර්ගයක් යොදා ගැනීමත්, කඩා බිඳ දමා ඇති ස්ථානවලින් එතෙර වීම සඳහා ඔසවාගෙන යා හැකි පාලමක් භාවිත කිරීමත් යන උපායමාර්ගයන් දෙක තමයි තව සුලු මොහොතකින් ස්පාඥ්ඥයන් විසින් භාවිත කිරීමට බලාපොරොත්තු වෙන්නෙ.
අතට අහුවෙන ඕනෑම වටින කියන වස්තුවක් එකතු කරගන්න කියල අණ ලැබිච්ච නිසා සෙබලු හැමෝම වගේ ලොකු ලොකු බඩු පොදි ගොඩක් උස්සගෙන තමයි නගරයෙන් පිටත් වෙන්න සූදානම් උනේ.
ක්‍රි.ව 1520 ජූලි මාසෙ පළවෙනිද රාත්‍රියෙ නගරයෙන් බටහිර දිසාවෙ පිහිටල තිබ්බ ට්ලැකොපාන් ප්‍රවේශ මාර්ගය භාවිත කරමින් කෝටේස් ප්‍රමුඛ සේනාවන් සියල්ල නගරයෙන් ඉවත්වෙන්න පටන් ගන්නව. ඒ මාර්ගය දැක්වෙන සිතියමක් පහල පින්තූරෙ තියනව.
කඩල බිඳල දාල තිබ්බ නිසා ට්ලැකොපාන් මාර්ගයට එතරම් ආරක්ෂාවක් ලබාදීපු බවක් නම් දකින්න ලැබුණෙ නැහැ. පසු බැසීම වෙනුවෙන් ඒ මාර්ගයම තෝරගන්න බලපාපු මූලික හේතුවත් ඒකම තමයි. පැවති වැසි සහිත කාලගුණයත් තමන්ට හිතකර බව තමයි ස්පාඥ්ඥයන්ගෙ විශ්වාසය උනේ.
ට්ලැකොපාන් මාර්ගය දිගේ සෑහෙන දුරක් ඉදිරියට ගියාට පස්සෙ තමයි තමන් අහුවෙල ඉන්නෙ මොන ජාතියෙ ට්‍රෝජන් අශ්වයෙකුටද කියන එක කට්ටියට අවබෝධ වෙන්නෙ.
ඇස්ටෙක් සෙබලු අතර ඉතාම වැදගත් කණ්ඩායම් දෙකක් හිටිය. ඉතාම හොඳින් පුහුණු කරපු රාජාලි සටන්කරුවන් ( Eagle Warriors ) සහ ජගුවාර් සටන්කරුවන් ( Jaguar warriors ) තමයි මේ කණ්ඩායම් දෙක. ට්ලැකොපාන් මාර්ගයේ ආරක්ෂාව පැවරිල තිබ්බෙ රාජාලි සටන්කරුවන්ට.
ඉදිරියෙන් රාජාලි සටන්කරුවන්ට මුහුණ දෙන අතරවාරෙ ටෙක්ස්කෝකෝ විල හරහා විවිධ ඔරු පාරු වලින් පැමිණි ඇස්ටෙක් සේනාවන්ගෙ ඊතල ප්‍රහාරයන්ට ලක් වෙන්නත් ස්පාඥ්ඥ සහ සහායක සේනාවන්ට සිද්ද වෙනව. සමහර සෙබලුන් ප්‍රවේශ මාර්ගයෙන් ඇද වැටිල ටෙක්ස්කෝකෝ විලේ ගිලිල මැරෙනව. මේ සටන දැක්වෙන කල්පිත සිතුවමක් දෙවනි පින්තූරෙන් ඉදිරිපත් කරල තියනව.
ඉතාම බිහිසුණු සටන්කාමියෙක් වෙච්ච කෝටේස් ඇතුල සුලු පිරිසකට පමණක් සතුරු ආරක්ෂක වළලු බිඳගෙන ඉදිරියට යන්න පුලුවන් උනත් තමන්ගෙ සහායකය වෙච්ච අල්වරාදෝ අතිශය භයංකර ඉරණමකට මුහුණ දීල ඉන්න බව දැකපු නිසා ප්‍රතිප්‍රහාර දියත් කරමින් නැවත සතුරු සේනාවන් වෙත කඩාවදින්න ඔහු කටයුතු කරනව. තමන් සමග ඉන්න පිරිසේ ආරක්ෂාව ගැන නායකයෙක් වශයෙන් ඔහු කොච්චර සැලකිලිමත් උනාද කියන කාරණය මේ සිදුවීමෙන් ඉතාම හොඳට පැහැදිලි වෙනව. සමහරවිට කෝටේස්ගෙ සාර්ථකත්වයට බලපාපු ප්‍රධාන හේතුවත් ඒක වෙන්න පුලුවන්.
කෝටේස් සහ අල්වරාදෝ ඇතුලු ඉතාම සීමිත පිරිසකට විතරයි මේ මහා සංග්‍රාමයෙන් තමන්ගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙන්නෙ. ෆ්‍රැන්සිස්කෝ ලෝපේස්ගේ වාර්තාවන්ට අනුව ස්පාඥ්ඥ ජාතිකයන් 450 ක් සහ සහයෝගයෙන් කටයුතු කළ ස්වදේශිකයන් 4000 ක් මේ අවස්ථාවේදී මිය යනව.
ඒ රාත්‍රිය විජයග්රහණයේ රාත්‍රියක් වෙන්නෙ මෙච්චර කල් පැරදි පැරදි හිටපු ඇස්ටෙක්වරුන්ට. ස්පාඥ්ඥ වාර්තාවල මේ රාත්‍රිය හඳුන්වන්නෙ La Noche Triste ( Night of Sorrow ) එහෙමත් නැත්නම් ශෝකයේ රාත්‍රිය කියල.
ස්පාඥ්ඥයන්ගෙ ආරක්ෂාව යටතෙ හිටපු මොන්ටෙසුමා අධිරාජයාගේ පුත්‍රයත් වෙනත් ස්වදේශික සටන්කාමී ගෝත්‍රයන්ට අයත් වෙච්ච කුමාරවරු කිහිප දෙනෙකුත් මේ සටන නිසා මිය යනව.
අවසාන කොටස සමග නැවත හමුවෙමු.
Comments
Post a Comment