රක්ත චරිත්‍ර - පස්වන කොටස - පිහාටු සර්පයා

පිහාටු සර්පයා

වෙරාකෲස් නගරයේ දී වැලෙස්කෝගේ නායකත්වය ප්‍රතික්ෂේප කරපු හර්නෑන්ඩෝ කෝටේස් ක්‍රම ක්‍රමයෙන් ස්වදේශික කණ්ඩායම් අවනත කරගනිමින් චොලූලා නගරයට ආපු බවත් බිහිසුණු මිනිස් සංහාරයකින් පස්සෙ එම නගරයේ තමන්ගෙ බලය තහවුරු කර ගත්ත බවත් කලින් ලිපි වලින් කතා කළා.
අද එතැන් සිට,
ක්‍රි.ව 1519 නොවැම්බර් මාසෙ මුල දවසක කෝටේස් තමන්ගේ සිහින නගරය වෙච්ච ටිනොට්චිට්ලාන් වෙත ගමන් ආරම්භ කරන්න පටන් ගන්නව.
නොවැම්බර් හත් වෙනිද හැන්දෑවෙ කඳු මුදුනක ඉඳන් මුල්ම වතාවට ඈත පේන ටිනොට්චිට්ලාන් නගරයේ අයස්කාන්ත දර්ශනය දැකපු කෝටේස් ඇතුලු ස්පාඥ්ඥයන් විස්මයට පත් උනාලු..! පහල තියෙන්නෙ ඒ සිදුවීම හා සම්බන්ධ සටහනක්.
' ඇතැම් සොල්දාදුවන්, අප මේ දකින්නේ සිහිනයක්දැයි ප්‍රශ්න කළහ. එය කෙසේ විග්‍රහ කරම්දැ යි මට නොතේරේ. ' - බර්නාල් ඩි කැස්ටිලෝ ( The Conquest of New Spain )
ස්වදේශික කණ්ඩායම් රැසක් එකතු වෙලා ඉන්න නිසා මේ වෙනකොට කෝටේස් සතුව සැලකිය යුතු අන්දමේ පිරිස් බලයක් තියනව. නොවැම්බර් මාසෙ අට වෙනිද මොන්ටෙසුමා අධිරාජයා සහ කෝටේස් අතර පළමු හමුවීම සිදු වෙනව.
තමන්ගේ රාජධානිය ඒ මොහොතේදීම ස්පාඥ්ඥයේ රජතුමාට පවරා දෙන්න මොන්ටෙසුමා එකඟ වෙච්ච බවත් Quetzalcoatl දෙවියන් විසින් එවන ලද පිහාටු සහිත සර්පයා ( feathered serpent ) තමන් බව ඔහු විශ්වාස කරන බවත් කෝටේස් විසින් ස්පාඥ්ඥයෙ චාල්ස් රජතුමාට ලියල යවනව.
මොන්ටෙසුමා මීට කලින් සෑම අවස්ථාවකම වගේ කෝටේස්ව නතර කිරීම වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්ම ගත්ත නිසා මේ කතාව නම් ටිකක් විතර සාහිත්‍යය පැත්තට බර වැඩි බවක් තමයි පේන්න තියෙන්නෙ. මොන්ටෙසුමා මෝඩයෙක් එහෙමත් නැත්නම් මිත්‍යා විශ්වාස වල ඕනවට වඩා එල්බ ගෙන හිටපු කෙනෙක් වගේ මතයන් විශාල ප්‍රමාණයක්අපිට අහන්න දකින්න ලැබෙන එක උනත් ස්පාඥ්ඥයන්ගෙ පැත්තෙන් ඉස්මතු කරපු කරුණු වෙන්න තියන සම්භාවිතාව වැඩියි.
ඒ ගැනත් පොඩ්ඩක් කතා කරල ඉමු.
වෙනත් ඕනෑම සමාජයක් වගේම ඇස්ටෙක්වරු ගත කළෙත් විශ්වාස සමූහයක් එක්ක බැඳුණු ජීවිතයක්. මේ ලිපි මාලාවෙ දෙවැනි කොටසින් අපි ඒ ගැන කරුණු ටිකක් කතා කළා.
ඇස්ටෙක්වරුන්ට දින දර්ශනයක් තිබ්බ. පහළ පින්තූරෙ තියෙන්නෙ ඇස්ටෙක් කැලැන්ඩරයක්. මොන්ටෙසුමා අධිරාජයා සහ කෝටේස්ගෙ පළමු හමුවේදි අධිරාජයා විසින් කෝටේස්ට තෑගි දෙන්නෙත් රනින් සහ රිදියෙන් කරපු දින දර්ශනයක්. ඒකෙ මූල්‍යමය වටිනාකම ගැන හිතපු කෝටේස් පස්සෙ කාලෙක ඒක උණුකරල විකුණනව.


මේ දින දර්ශනයට අනුව ක්‍රි.ව 1519 කියන්නෙ අලුත් කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. ක්‍රි.ව 843 දි එහෙමත් නැත්නම් කෝටේස් පැමිණීමට පෙර ඇස්ටෙක් කැලැන්ඩර් වර්ෂ දහතුනකට කලින් ඉපදුනා කියල විශ්වාස කරන Quetzalcoatl දෙවියන් තමන්ට අයත්ව තිබ්බ ඇස්ටෙක් රාජ්‍යය ලබා ගැනීම සඳහා නැඟෙනහිර දෙසින් නැවත පැමිණෙන බවට විශ්වාසයක් ඔවුන් තුල තිබ්බ. එහෙම එන්න නියමිත වෙලා තිබ්බෙ අලුත් කැලැන්ඩර් වර්ෂයක ආරම්භයෙදිම තමයි. ඒ අනුව බැලුවොත් නම් කෝටේස් යුකටාන් වෙරළට ගොඩ බැස්සෙ නියමම කාලෙදි. එක්කෝ කෝටේස් දෙවියන්ගේ ස්වරූපයෙන් පෙනී ඉන්න උත්සාහ කරන්න ඇති. නැත්නම් ස්පාඥ්ඥයෙ රජතුමාගෙන් වැඩිපුර ලකුණු ටිකක් දාගෙන තමන් මේ දක්වා කරගෙන ආපු කාර්යය ඉදිරියට ගෙනයෑම උදෙසා පොඩි තල්ලුවක් ලබා ගන්න ඒ කාරණය ටිකක් වැඩියෙන් මතු කළා වෙන්නත් පුලුවන්.
ඇස්ටෙක්වරු උනත් මේ කාරණය ඇත්තටම විශ්වාස කළාද කියන එක ප්‍රශ්නයක්. මොකද දෙයියො වෙරළට ගොඩ බැස්ස කියල මිනිස්සු ඉර හඳ වගේ විශ්වාස කළා නම් ටැබැස්කෝ, ට්ලැට්ස්කාලා සහ චොලූල වලදි යුද්ද කර කර ඉන්නෙ නැතුව කෙලින්ම යටත් වෙන්න තිබ්බනෙ. ඒත් එහෙම දෙයක් උනේ නැහැ.
බුල් මැස්ටිෆ් වර්ගයේ බල්ලො, අශ්වාරෝහකයො සහ කාලතුවක්කු වගේ දේවල් නිසා යම් ආකාරයක ඉහළ තත්ත්වයක් කෝටේස්ට ආරෝපණය වෙලා තිබුන වෙන්න පුලුවන්. නමුත් චොලූල වල සංහාරයෙන් පස්සෙ ඒ දේව සංකල්පයට එතරම් පිළිගැනීමක් ලැබුණ කියල හිතන්න අමාරුයි. ට්ලැට්ස්කලනයන් ඇතුලු ස්වදේශික කණ්ඩායම් ගණනාවක්ම මේ වෙනකොට කෝටේස් එක්ක එකතු වෙලා හිටපු නිසා මොන්ටෙසුමා අධිරාජයා ඉදිරියෙ වෙනත් විකල්පයක් තිබ්බෙ නැති බවත් මතක් කරන්න ඕන.
දැන් නැවතත් කතාවට.
මොන්ටෙසුමා අධිරාජයා විසින් කෝටේස්ව පිළිගන්නෙ ආක්රමණිකයෙක් හැටියට නෙවෙයි. ඉතාම ගරු නම්බු සහිත රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පිළිගන්න ආකාරයට. ඉතාම විචිත්‍රවත් උත්සවයක් පවා මේ වෙනුවෙන් පැවැත්වෙනව. පින්තූරෙ තියෙන්නෙ ඒ හමුවීම දැක්වෙන කල්පිත සිතුවමක්.


තමන්ගෙ යටත් වැසියන් දහස් ගානක් මරල දාපු ආක්‍රමණිකයෙක් නගරය ඇතුළෙ ඉන්නව කියන එක අධිරාජයාගෙ පැත්තෙන් ලොකු ප්‍රශ්නයක්. මිනීමරු බිලිපූජා වලට පුරුදු වෙච්ච ලක්ෂ තුනක විතර ජනතාවක් මැද කොටුවෙල ඉන්න එක කෝටේස්ගෙ පැත්තෙන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක්.
සතියකට විතර පස්සෙ කෝටේස්ට නගරයේ පූජනීය ස්ථාන බලන්න අවස්ථාව ලැබෙනව. මෙච්චර කාලයක් අහල තිබ්බ රක්ත චාරිත්‍රයන් ගැන නියම අදහසක් ලබාගන්න හැකියාව ලැබෙන්නෙ අන්න ඒ ගමනෙදි. නිර්භීත ස්පාඥ්ඥ සොල්දාදුවන් ඒ වැඩ කිඩ ටික දැකල කොච්චර කලබල උනාද කියනවනම් ඔවුන්ව නැවත වෙරළබඩ ප්‍රදේශවලට අරගෙන යන්න කියල කෝටේස්ගෙන් බැගෑපත්ව ඉල්ලා හිටියලු...!
මේ අතරවාරෙ මුහුදුබඩ හිටපු ස්පාඥ්ඥ ජාතිකයන් කිහිප දෙනෙක් ඇස්ටෙක්වරු අතින් ඝාතනයට ලක් වෙච්ච බව කෝටේස්ට ආරංචි වෙනව. මේ සම්බන්ධයෙන් සැකය එල්ල වෙන්නෙ අධිරාජයගෙ දිහාවට. මේ සිදුවීමත් එක්ක කෝටේස් ඉදිරියෙ ඉතුරු වෙන්නෙ විකල්ප දෙකයි. එක්කෝ සෙබලු ටිකත් එක්ක වෙරළබඩ ප්‍රදේශ කරා පහු බහින්න ඕන. නැත්නම් ටිනොට්චිට්ලාන්වල බලය තහවුරු කර ගන්න ඕන.
පැහැදිලි අරමුණක් එක්ක ටිනොට්චිට්ලාන් දක්වාම ආවට පස්සෙ ආපහු හැරෙන්න පුලුවන්කමක් නැති නිසා දෙවන විකල්පය ක්‍රියාවෙ යොදවන්න කෝටේස් කටයුතු කරනව.
ආරක්ෂකයන් දෙසීයකගෙ රැකවරණය යටතෙ හිටපු මොන්ටෙසුමා අධිරාජයාව ප්‍රාණ ඇපයට ගැනීම තමයි උපාය මාර්ගය. ස්පාඥ්ඥ වාර්තාවල තියන විදිහට නම් මොන්ටෙසුමා ප්‍රාණ ඇපයට එන්නෙ කැමැත්තෙන්මයි. නමුත් රජකං කරන්න පුරුදු වෙච්ච මිනිහෙක් කුමන අවස්ථානුගත තත්ත්වයක් යටතෙවත් හිරකාරයෙක් වෙලා ඉන්න කැමති වෙයි කියල හිතන්න අමාරුයි.
අධිරාජයා ප්‍රාණ ඇපයට ගැනීම මගින් තමන්ගෙ බලය තහවුරු කරගත්තට පස්සෙ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රක්ත චාරිත්‍රයන් නවතා දැමිය යුතු බව කෝටේස් විසින් මොන්ටෙසුමා හරහා ජනතාව වෙත දැනුම් දෙනු ලබනව. ඇස්ටෙක් දේවස්ථානයන්හි තිබ්බ පැරැණි දේවරූප ආදිය ඉවත් කරවල ඒ ඒ ස්ථානයන් කතෝලිකකරණය කරවීමට කඩිනමින් පියවර ගන්නව.
යම් යම් විරෝධතා මැද උනත් මොන්ටෙසුමා අධිරාජයාගෙ නමින් ටිනොට්චිට්ලාන් නගරය ඇතුලෙ ඉහත වැඩකටයුතු සාර්ථකව කරගෙන යන අතරවාරයේ, ඒ කියන්නෙ ක්‍රි.ව 1520 අප්‍රේල් මාසෙ අලුත් අභියෝගයකට මුහුණ දෙන්න කෝටේස්ට සිද්ද වෙනව.
ඒ ගැන ඊළඟ කොටසෙන් කතා කරමු.

Comments