අවසන් දෙමළාගේ හමෙන් මසන ලද පාවහන් පැළඳීමට සිහින දුටු මිනිසා - කේ. ඇම්. පී රාජරත්න

ඔබ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ එහි ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ ද..?
එසේනම් කෝණාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි රාජරත්න නොහොත් කේ. ඇම්. පී රාජරත්න නම් පුද්ගල භූමිකාව කිසිසේත්ම මගහැර යා නොහැක.
කේ. එම්. පී රාජරත්න කියන නම අහපු ගමන් හැමෝටම දැනෙන්නෙ අන්ත ජාතිවාදී සහ වර්ගවාදී මනෝභාවයක්. ඒ කතාව වැරදියි කියන්න බෑ. ඒ මතය සනාථ කරන්න ඕන තරම් හේතු සාධක ඉතිහාසයෙන් හොයා ගන්න පුලුවන්.
රාජරත්න කියන්නෙ ඌව පළාතෙ දඹවින්න කියන අන්ත දුෂ්කර ගමක ඉපදිච්ච දරුවෙක්. පළාතෙ හැටියට යම් ආර්ථිකයක් තිබ්බ පවුලක් උනත් මුලින්ම දඹවින්නෙ ප්‍රාථමිකයට ඇතුළත් වෙච්ච ළමයෙක්. ඊට පස්සෙ බදුල්ල ඌව මහා විද්‍යාලය, මහනුවර ධර්මරාජය පහුකරගෙන තමයි එතුම කෝට්ටෙ ආනන්ද ශාස්ත්‍රාලයට යන්නෙ.
ආනන්ද ශාස්ත්‍රාලයෙදි එතුමට තමන්ගෙ අනාගත ජීවන සහකාරිය මුණ ගැහෙනව. කුසුමා පෙරේරා. විවාහයෙන් පස්සෙ " කුසුමා රාජරත්න ". ඇය ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ දියණියක්. කිසි කෙනෙක් වැඩිය නොදන්න කතාවකුත් කියන්නම්. ඒක පොඩි ඕපදූපයක්. එතුමිය රාජරත්න මහතාට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. කොළඹ හිටපු කුසුමා පෙරේරාට නම් විශ්ව විද්‍යාලය එතරම් අරුමයක් නොවෙන්න ඇති. නමුත් රාජරත්න කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනයක්.
විශ්ව විද්‍යාලයෙදි එතුම හදාරන්නෙ ඉතිහාසය.
බණ්ඩාරනායක මහතා එක්ක එතුමගෙ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නෙත් විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙදිම තමයි. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්නම ඕන.
රාජරත්න ඉපදෙන්නෙ ක්‍රි.ව 1927 දි. ඒ කියන්නෙ නිදහස ලැබෙනකොට එතුමගෙ වයස යන්තම් අවුරුදු විස්සක් විතරයි. ඒක දේශපාලනය ගැඹුරින් තේරුම් ගන්න පුලුවන් වයසක් නෙවෙයි. අන්ත දුෂ්කර ගමකින් කොළඹට ආපු එතුමට නිදහස ලැබීම කියන එක ලොකු සතුටක් වෙන්න ඇති. ඒත් ඊට පස්සෙ ලංකාවෙ බලය අතට ගත්තෙ සුද්දන්ටත් වඩා යටත් විජිත මානසිකත්වයකින් හිටපු සේනානායකල, කොතලාවලල සහ බණ්ඩාරනායකල. උපාධිය සම්පූර්ණ කරල රක්සාවක් කරා නං රාජරත්න කියන්නෙත් සාපේක්ෂව යහපත් ජීවිතයක් අතේ තිබ්බ මිනිහෙක්. නමුත් අර කලින් කියපු ඉහළ සමාජ පංතියට ලං වෙන්න හිතන්නවත් පුලුවන්කමක් එයාට තිබ්බෙ නෑ.
රාජරත්න බණ්ඩාරනායකට ලං වෙන්නෙ ඒ නිසා වෙන්න ඕන කියන එකයි මගෙ පෞද්ගලික මතය. ඒ කාලෙ බදුල්ල පැත්තෙ ලොකුවට හිටපු වංශාධිපතියො හැමෝම යූඇන්පී එකත් එක්ක සම්බන්ධතා තිබ්බ අය. ඒ අයට උඩින් මතු වෙන්න ඕන නම් වෙනත් විකල්පයකට යන්නම වෙනව. බණ්ඩාරනායක කියන්නෙත් ඉහළ පංතියෙම මිනිහෙක් තමයි. නමුත් අවස්ථානුකූලව ඒක තමයි හොඳම විසඳුම. ඒ අනුව තමයි සිංහල භාෂා පෙරමුණ එක්ක රාජරත්නගෙ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නෙ. එතනදි එතුමගෙ හොඳම සගය වෙන්නෙ එෆ්. ආර් ජයසූරිය. " භාෂා බෝයි " තමයි රාජරත්නගෙ නික්නේම් එක. එෆ්. ආර් සහ කේ. එම්. පී දෙන්නට කිව්වෙ " භාෂා ට්වින්ස් " කියල.
මේ මුල්ම කාලෙ රාජරත්න තුළ අන්ත ජාතිවාදී ලක්ෂණ තිබ්බ කියල නිරීක්ෂණය වෙන්නෙ නෑ. 1952 දි වැලිමඩ ආසනයට තරග කරල පරාජය උනත් තමන්ගෙ උපන්ගමේ ප්‍රජාව අතර ඉතාම හොඳ නායකයෙක් ගැන සුභ සිහිනයක් නිර්මාණය කරන්න එතුමට පුලුවන් වෙනව. ඩඩ්ලි සේනානායක රජය අස්ථාවර වීම මෙන්ම අන්ත දක්ෂිණාංශික ජෝන් කොතලාවල රජය යටතේ වෙච්ච දේවල් වැලිමඩ වගෙ අන්ත දුෂ්කර පැත්තක හිටපු මිනිස්සුන්ට එච්චර දිරවන්නත් නැතුව ඇති. තව දෙයක් තියනව. මේක මෙහෙම කිව්ව කියලත් අමනාප වෙන්න එපා. ඩඩ්ලි ල ජෝන් ල ලොකු වංශාධිපතියො තමයි. ඉංග්‍රීසි කතා කරනවත් තමයි. ඒත් ගමෙන් ආපු රාජරත්නට සාපේක්ෂව මේ දෙන්නම එහෙමට අධ්‍යාපනයක් ලබපු මිනිස්සු නෙවෙයි. තමන්ගෙ දැනුමෙ හයිය උරගාල බලන්න තරුණයන්ට කොහොමත් ලොකු උවමනාවක් එනවනෙ. රාජරත්න තරුණයටත් එහෙම ඇම්මක් නොතිබ්බ වෙන්න බෑ.
තවත් කතාවක් කියන්නම ඕන. මේ සිදුවීම්වලට සමකාලීනව උතුරේ දෙමළ ජන නායකයො තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය දැඩිව අවුළුවමින් තමයි හිටියෙ. සෝල්බරි කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් ජී. ජී පොන්නම්බලම් මහතා විසින් ඉදිරිපත් කරපු 50 ට 50 යෝජනාව ඒ සිදුවීම් මාලාවේ උච්ඡතම අවස්ථාවක්. මේ සිදුවීම වෙනකොට රාජරත්නගෙ වයස අවුරුදු 18 යි. ඉතාම හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබ්බ නිසා තමන්ගෙ පළාත සම්බන්ධයෙන් කොමිසම හමුවේ අදහස් දක්වන්නත් රාජරත්න තරුණයට අවස්ථාක් ලැබුන කියල කතාවක් තියනව. ඒත් ඒ ගැන නිවැරදිම තොරතුරක් ලැබුනෙ නැහැ. කොහොමත් ඒක ඇවිල්ල දකුණෙ තරුණයන්ගෙත් ලේ උණු වෙන්න පටන් අරගෙන තිබ්බ කාලයක්.
1956 දි බලයට පත්වීම සඳහා බණ්ඩාරනායක විසින් අනුගමනය කරන්නෙ ඉතාම සරල දේශපාලන උපායක්. ඒක සඟ වෙද ගුරු ගොවි කම්කරු නම් පංචමහා බලවේගය නම් ඉතාම සුන්දර කවරයකින් වහල තිබ්බ තිත්ත බෙහෙතක්. රාජරත්න මුල් වරට පාර්ලිමේන්තුවට පත් වෙන්නෙ ඒ ක්‍රියාදාමයත් එක්කම තමයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ ක්‍රියාවලිය ඇතුලෙ රාජරත්න කියන්නෙ පුරෝගාමී චරිතයක්.
අලුත් ආණ්ඩුව ඇතුලෙ රාජරත්නට ලැබුනෙ උප ඇමතිකමක් විතරයි. තමන් කරපු සේවාව එක්ක ඊට වඩා ලොකු දෙයක් ලැබෙයි කියල බලාපොරොත්තුවක් නොතිබ්බ වෙන්න බෑ. නමුත් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වෙච්ච කෙනෙකුට කුඩා කැබිනට්ටුවක් ඇතුලෙ ඊට වඩා ලොකු දෙයක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. ඒ කොහොම උනත් ඒක තමයි සෑහෙන කාලෙකට පස්සෙ බදුල්ලට ලැබිච්ච මුල්ම ඇමතිකම.
ඒ මුල් අවස්ථාවෙ අසතුටු වෙන්න තරම දෙයක් තිබ්බ කියල නම් හිතන්න අමාරුයි. නමුත් කරදරය එන්නෙ වෙනත් විදිහකට. රාජරත්නගෙ මන්ත්‍රී ධූරයට එරෙහිව නඩුවක් වැටෙනව.
" කොස්ගහකුඹුරේ නවසිය මුදියන්සේලාගේ පුංචි බණ්ඩා එ. කේ.ඇම්.පී රාජරත්න " නඩුව.
1952 මැතිවරණයේ දී රාජරත්න විසින් මැතිවරණ වියදම් වාර්තාව ලබා නොදීම තමයි නඩුවේ නිමිත්ත. රාජ නීතිඥ එම්. එෆ්. එස්. පුල්ලේ, එච්. ඇන්. ජී. ප්‍රනාන්දු සහ ඇම්. සී. සන්සෝනි විනිසුරුතුමන්ලා ඉදිරියේ විභාග වෙච්ච මේ නඩුවෙන් රාජරත්න වැරදිකාරය වෙනව. රුපියල් 100 ක දඩයකටත් යටත් වෙනව. මන්ත්‍රීකම අහෝසි වෙනව.
අමනාපයට පත් වෙච්ච උතුරේ දෙමළ නායකන් සංසිඳවීම උදෙසා ඇති කර ගැනීමට උත්සාහ කරපු බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුව ඉදිරිපිට රාජරත්න සහ ජයසූරිය විසින් උපවාසයක් ආරම්භ කරනව. ජනතා විරෝධය හමුවේ ගිවිසුම අකුල ගන්නව ඇරෙන්න වෙන විකල්පයක් බණ්ඩාරනායක අගමැතිවරයා ඉදිරියෙ තිබ්බෙ නෑ.
නමුත් මේ සමස්ත ක්‍රියාවලිය නිසා තමන්ට වෙච්ච හානිය රාජරත්නව වෙනත් තැනකට තල්ලු කරනව. ඒ තමයි ස්වෝත්තමවාදය.
Chauvinism නම් සංකල්පය හැඳින්වීමට ස්වෝත්තමවාදය කියන සිංහල වචනය ගැලපෙනව ද නැද්ද කියන එක මම හරියටම දන්නෙ නෑ. ඒ නිසා Chauvinism කියන්නෙ මොකක් ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරල ඉන්නම්.
මේ සංකල්පය නැපෝලියන් අධිරාජයා යටතෙ සේවය කරපු Nicolas Chauvin නම් සොල්දාදුවෙක් විසින් නිර්මාණය කළා කියල තමයි කියන්නෙ. නැපෝලියන් බලයෙන් ඉවත් කිරීමෙන් පස්සෙ මේ සොල්දාදුවට රජය මගින් යම් ගෙවීමක් කළත් ඒක ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඔහු දැඩි නැපෝලියන්වාදියෙක්. ඒ යුගයෙ ඇති වෙච්ච තත්ත්වයන් හේතුවන් තමන්ගේ කණ්ඩායම අනෙක් සියලු කණ්ඩායම්වලට වඩා සුවිශේෂී බවත් එය ස්වභාවික කාරණයක් බවත් යනුවෙන් විශ්වාස කරන්න ඔහු පෙළඹෙනව. ඒක හරියට අර පිරිමි ගෑණුන්ට වඩා උසස් කියල හිතන ජාතියෙ මානසිකත්වයක්. මේ මතයම පොඩි පොඩි වෙනස්කම්වලට ලක් කරල ඉදිරිපත් කරනු ලබන වෙනත් දාර්ශනික ධාරාවනුත් ලෝකෙ තියනව. නාසිවාදය සහ ෆැසිස්ට්වාදය උනත් ඊට ගොඩක් ළඟින් තියන මතවාදයන් දෙකක් තමයි.
කේ.ඇම්.පී රාජරත්න විසින් ජාතික විමුක්ති පෙරමුණ (JVP) නමින් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න කටයුතු කරනව. අලුත් පක්ෂයේ ලකුණ අහස් යානය. සිංහලෙ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ වර්තමාන ලාංඡනය වෙන්නෙත් අහස් යානයම තමයි. ඒ පක්ෂයේ නායක හරිශ්චන්ද්‍ර විජේතුංග සහ කේ. එම්. පී රාජරත්න කියන්නෙ සමකාලීනයො. නමුත් ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.
ඒ පක්ෂයේ මුල්ම අභියෝගය තමයි 1957 වැලිමඩ අතුරු මැතිවරණය. අධිකරණ තීන්දුව නිසා ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා ඡන්දෙ ඉල්ලන්නෙ කුසුමා රාජරත්න. අලුත්ම පක්ෂයකින් ඉදිරිපත් උනත් වැඩි ඡන්ද 11.000 ක් අරගෙන එතුමිය ජයග්‍රහණය කරනව. ඒ තමයි ඌවෙන් බිහිවෙච්ච දේශපාලන පක්ෂයක මුල්ම පාර්ලිමේන්තු නියෝජනය. ඌවේ මුල්ම කාන්තා නියෝජනය.
රාජරත්න ස්වකීය පලමු ජයග්‍රහණය වාර්තා කරපු 1956 දි වෙච්ච සිදුවීමක් ගැනත් කතා කරන්නම වෙනව.
ඒ තමයි 1956 ගල් ඔය ගැටුම. ගල් ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ කරන ලද නව පදිංචිකිරීම් හරහා සුළු ජනවර්ගයන්ට අසාධාරණයක් සිදුවූ බව ප්‍රකාශ කරපු දෙමළ ජාතිවාදීන් නිජබිම් සංකල්පය මුල්කරගෙන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්න තීරණය කරනව. මේ තමයි රාජරත්න නීතියට පිටින් කටයුතු කරල බලහත්කාරය අත්හදා බලන්න පටන් ගත්ත මුල්ම අවස්ථාව. රාජරත්න සහ ඔහුගේ සහචරයන් ෆෙඩරල් පක්ෂය විසින් මෙහෙයපු ඒ උද්ඝෝෂණය කඩාකප්පල් කරල දානව. දෙමළ ජාතිකයන්ට අයත් කඩ සාප්පු 150ක් කොල්ල කෑමට ලක් වෙනව. එකට එක කිරීමක් වශයෙන් මඩකලපුවේ දෙමළ ජාතිවාදීන් විසින් සිංහල කඩ සාප්පු ගිනිබත් කරනව. මේ ක්‍රියාවලියෙ උච්ඡතම අවස්ථාව සටහන් වෙන ගල් ඔය ප්‍රදේශයෙදි දෙමළ ජාතිකයන් 150 කට වඩා ප්‍රමාණයක් මරා දමනව. මේ සිදුවීම තනිකරම ඛේදවාචකයක්. සියලු සිදුවීම්වල වරද රාජරත්නට පටවල අත පිහද ගන්න ඕනම කෙනෙකුට පුලුවන්. නමුත් දේශපාලකයො හැම වෙලාවෙම කටයුතු කරන්නෙ ජන විඥාණයට අනුවම තමයි. ඒක ඉතාම වාසි සහගතයි. රාජරත්න මේ නෙලන්න උත්සාහ කරන්නෙ එයා විසින් තනියම වපුරපු අස්වැන්නක් නෙවෙයි. දෙමළාට එරෙහි සිංහලයා සහ සිංහලයාට එරෙහි දෙමළා කියන්නෙ ඓතිහාසික ප්‍රශ්නයක්. පහුගිය කාලෙ ඇතිවෙච්ච සහ තවමත් තියන මුස්ලිම් විරෝධයත් ඒ වගෙම තමයි. බදුර්දීන්ල, ඥාණසාරල ජාතිවාදියො වෙන්නෙ නිකම් නෙවෙයි. ඒ අයට ජාතිවාදයෙ නායකත්වය ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නෙ සමකාලීන සිංහල මුස්ලිම් ජන විඥාණයන් විසින්ම තමයි.
මේ අතරවාරෙ තමයි අර කලින් කියපු නඩුව වැටෙන්නෙ. රාජරත්න සහ බණ්ඩාරනායක අතර බෙදීමක් ඇති වෙන්න පටන් ගන්නෙත් මේ කාලෙම තමයි. ලස්සන කවරයකින් වහල තිබ්බ අලුත් ආණ්ඩුවට තමන් පොරොන්දු වෙච්ච සෑම දෙයක්ම කරන්න හැකියාවක් තිබ්බෙ නෑ. ඉතාම වේගයෙන් ක්‍රියාකරන තරුණ දේශපාලකයෙක් නිසා තමන්ගෙ සම්පූර්ණ වැඩසටහන අවදානමක දාගන්න බණ්ඩාරනායකට කිසිම හැකියාවකුත් නෑ. වෙනත් පක්ෂයක් නිර්මාණය කර ගැනීම කියන තැනට රාජරත්න තල්ලු වෙන්නෙ ඒ නිසා විය යුතුයි.
වර්තමාන තත්ත්වයන් එක්ක බලනකොට මේ ක්‍රියාව තරමක මෝඩ වැඩක් කියල තමයි හිතෙන්නෙ. ඇත්තටම ඒක එහෙම ද..? පැහැදිලිවම නැහැ. ඉතා බලවත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන්න බණ්ඩාරනායකට පුලුවන් උනා. ඒ වගෙම ඒ කාලය ලෝක දේශපාලනය පැත්තෙනුත් හරිම සුවිශේෂී කාලයක්. ඇමරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව ලෝකය දෙකට බෙදාගෙන දාං ඇදපු කාලයක්. ඕනම රටක ඕනම පාලකයෙක් ඕනම මොහොතක මාරු වෙන්න සහ මාරු කරන්න ඉඩකඩ තිබ්බ කාලයක්. ඒ දේවල් ගැන ඕන තරම් උදාහරණ තියනව. සිංහලයගෙ කර පිටින් බලයට ආව බණ්ඩාරනායක කියන්නෙ තව දුරටත් විශ්වාස කරන්න බැරි චරිතයක්. උතුරෙ දෙමළ නායකයො එක සීරුවට ජාතිවාදය වපුරනව නම් දකුණෙ සිංහල සමාජය තුළින් උනත් ඒ වෙනුවට ප්‍රබල සිංහල නායකයෙක් බිහිවෙන්න ඉඩකඩ ඕන තරම් තිබ්බ. ජාතික විමුක්ති පෙරමුණ කියන්නෙ ඒ වෙනුවෙන් නිර්මාණය කරපු ආකෘතිය.
රාජරත්න කියන්නෙ මෝඩයෙක් නෙවෙයි. මම හිතන හැටියට ඔහු මේ අවස්ථාව ඉතාම හොඳින් නිරීක්ෂණය කරපු කෙනෙක්. ඒ හරහා බලය තහවුරු කරගන්න ඔහු තුළ කිසියම් අභිප්‍රායක් තිබ්බ නම් ඒක වැරදියි කියන්නෙ කොහොම ද..? ඒක තමයි දේශපාලනයෙ ස්වභාවය.
නමුත් රාජරත්න ඉදිරියෙ ලොකු කාලයක් තිබ්බෙ නෑ. 1957 අතුරු මැතිවරණය කුසුමා රාජරත්න මහත්මිය විසින් ජයග්‍රහණය කරනව තමයි. ඒත් ඉතාම ඉක්මනින් තමන්ට අවශ්‍ය මතවාදය ලංකාව පුරාම පතුරව ගන්න වෙන ක්‍රමයක් ඕන වෙනව. දෙමළ විරෝධී ජාතිවාදී කෝලාහල පැතිර ගිය 1958 අප්‍රේල් මාසෙ 27 වෙනිද නැවතත් බලහත්කාරය අත්හදා බලන්න අවස්ථාවක් උදා වෙනව. මේ සිදුවීම ඊට අදාල නඩු වාර්තාව ඇසුරෙන්ම සටහන් කරන්නම්.
" 1958 අප්‍රේල් මස 27 වැනි දින නීතිවිරෝධී ලෙස රංචු ගැසීම, සාමය කඩවන අයුරින් හැසිරීම, වැලිමඩ සෙන්ට්‍රල් ස්ටෝර්ස් අයිතිකාර ඩී. ගිරිගෝරිස් පෙරේරා මහතාගේ කඩයට රු. 600/- ක අලාභයක් සිදුකිරීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික සහකාර බී. මනම්පේරි මහතාට අයත් මෝටර් රථයට රුපියල් 400/- ක අලාභයක් සිදු කිරීම යන චෝදනා මත කේ. ඇම්. පී. රාජරත්න මහතා ඇතුළු අටදෙනෙකුට විරුද්ධව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි. මෙම නඩුව බදුල්ල මහේස්ත්‍රාත් ලයනල් සමරතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් 1960-06-19 දින සාක්ෂි දුන් බී. මනම්පේරි මහතා 1958-04-27 දින තමා මෝටර් රථය කඩය ඉදිරියේ නතර කර ඩී. ගිරිගෝරිස් පෙරේරා මහතා සමග කඩය තුළ සිටි බවත් ශබ්දයක් ඇසී බලන විට විශාල පිරිසක් පැමිණ කඩය තුළ නතර වූ බවත් එක් තැනැත්තෙකු බෝඞ් ලෑලිවල තාර ගෑම සඳහා පියස්සට නැඟුන බවත් ප්‍රකාශ කර සිටියේය. මේ අවස්ථාවේදී දෙමළ අකුරුවල තාර ගෑම ගැන පෙරේරා මහතා විරුද්ධත්වයක් නොදැක් වූ නමුත් ඉංග්‍රීසි අකුරුවල තාර ගෑම ගැන විරෝධයක් පළ කිරීමෙන් බහින් බස්වීමක් ඇති වූ බවත් හෙතෙම සිය සාක්ෂියේදී තවදුරටත් හෙළිකර සිටියේය. පසුව තමා බේරීම සඳහා පහළ තට්ටුවට දිවගිය බවත්, ඒ අතරතුර ගල් හා බෝතල් වීසිකරන ශබ්දයක් ඇසුන බවත් තමා පොලිසියේ ආධාර ඇතිව මෝටර් රථය ඉවත් කරගත් අතර ඊට හානි සිදුවී තිබුණ බවත් ප්‍රකාශ කර සිටියේය. අම්බලන්ගොඩ පොලිසියේ ඉන්ස්පෙක්ටර් ඇම්. ඒ. කරුණාරත්න මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ මෙම සිද්ධිය වූ කාලයේ තමා වැලිමඩ පොලිසියේ සේවය කළ බවත්, එදින වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ නියෝග පිට මිනිසුන් දෙදෙනෙකු බෝඞ් ලෑලිවල තාර ගෑ බවත්, එය නතර කරන ලෙස රාජරත්න මහතාට තමා දැනුම් දුන් නමුත් එය දිගටම කරගෙන ගිය බවත්, අනතුරුව රාජරත්න මහතා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගිය බවත් ප්‍රකාශ කළේය. විනාඩි 10 ට පමණ පසුව රාජරත්න මහතා නැවතත් නගරයට ගිය අතර, පැයකට පමණ පසුව කඩයක් කඩන බවට තොරතුරු සැලවී ආයුධ සන්නද්ධ භට පිරිසක් සමග එහි ගිය විට 300 ක පමණ පිරිසක් සෙන්ට්‍රල් ස්ටෝර්ස් නමැති වෙළෙඳ සලට පහරදෙන අයුරු තමා දුටු බවත්, ඔවුන් අතර රාජරත්න මහතා ද සිටි බවත් ඔහුගේ සාක්ෂියෙන් තහවුරු කළේය. "
නඩු විභාගය අවසානයේදී 1960.06.23 දින තීන්දුවප්‍රකාශයට පත් කළ දිස්ත්‍රික් විනිශ්චයකාර ලයනල් සමරතුංග මහතා රාජරත්න මහතා ඇතුළු විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 2 1/2 ක සිර දඬුවමක් නියම කළේය. මෙම තීන්දුවට එරෙහිව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කළ නිසා රුපියල් 500/- ක ඇප මත මුදා හැරිණි. ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෝටර් රථයට අලාභ හානි කිරීමේ චෝදනාවෙන් විත්තිකරුවන් නිදහස් කර සිර දඬුවම වසර එක හමාරක් දක්වා අඩු කළේය.
මේ සිදුවීමට දේශපාලන ස්වරූපයක් ආරූඩ කරන්න රාජරත්න උත්සාහ කරන නිසා තමයි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්නෙ. 1958 කෝලාහලය අවස්ථාවෙ දි රාජරත්න විසින් කුරුණෑගල ද කරපු ප්‍රකාශයක් ගැනත් අවධානය යොමු කරන්නම වෙනව.
"පොලිස්කාරයො 10,000 ක් ඉන්නව. මුලින්ම උන්ව මරල දාපල්ල. ඊට පස්සෙ අපිට පුලුවන් දෙමල බෙදුම්වාදියො එක්ක තියන ප්‍රශ්න විසඳගන්න"
මේ ප්‍රකාශය හරිම වැදගත්. මොකද මේ මොහොත වෙනකොට රාජරත්නගෙ මනෝභාවය තේරුම් ගන්න ඒක ඉතාම ප්‍රයෝජනවත්. ඔහු හොඳින් හෝ නරකින් සිදුවන බලය හුවමාරුවක් අපේක්ෂාවෙන් කටයුතු කරපු බව ඉතාම පැහැදිලියි.
මේ සියලු ක්‍රියාදාමයන් එක්ක 1960 මාර්තු සහ ජූලි මැතිවරණ සඳහා ඉදිරිපත් උනත් ඒ මතවාදය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනව. කේ.ඇම්.පී රාජරත්න වැලිමඩ දිනා ගන්නව. කුසුමා රාජරත්න අලුතෙන් හදපු ඌව පරණගම දිනා ගන්නව. ජාතික විමුක්ති පෙරමුණ මගින් ඉදිරිපත් කරපු අනිත් සියලුම අපේක්ෂකයො පරාජයට පත් වෙනව. 1965 දි රාජරත්න වැලිමඩත් පරදිනව. කුසුමා රාජරත්න විතරක් ඌව පරණගම දිනා ගන්නව. තමන්ගෙ ගමේ ඉඳල උනත් දිනා ගන්න බැරි උනේ ඇයි කියල කෙනෙක් ඇහුවොත් ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. රාජරත්නට තිබ්බෙ ලොකු සිහිනයක්. රක්සා ලබාදීම, පාරවල් හැදීම වගෙ දේවල් වලට ප්‍රමුඛතාවයක් දෙන්න කාලයක් රාජරත්නට තිබ්බෙ නෑ. ඒ දේවල් එහෙම වෙනකොට මිනිස්සු කොහොමත් වෙන විකල්පවලට යනව.
1960 මේ දශකයෙ මුල වෙනකොටම තමන් කරන්න හදපු කිසිම දෙයක් ප්‍රායෝගිකව කරන්න බැරි බව රාජරත්න තේරුම් අරගෙන හිටපු බව නිරීක්ෂණය කරන්න පුලුවන්. 1965 දි ඔහු එක්සත් ජාතික පක්ෂයට සහය පලකරනව. ඩඩ්ලි සේනානායක රජය විසින් ඔහුට සෙනට් මන්ත්‍රීධුරයක් පිරිනමනව.
මග ඇරිල තිබ්බ නීති අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරපු කේ. ඇම්. පී රාජරත්න නීතීඥවරයෙක් බවට පත් වෙනව. අසාර්ථක දේශපාලකයෙක් උනත් ඔහු කීර්තිමත් නීතීඥවරයෙක්. අනතුරුව ඔහු සෘජුව දේශපාල කටයුතුවලට සම්බන්ධ උනා කියල හිතන්න අමාරුයි. නමුත් ක්‍රි.ව 2001 පාර්ලිමේන්තු මැතිවරණයෙදි එතුමා සිහල උරුමයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරනව. ඒ හරහා පැහැදිලිවම හඳුනාගන්න පුලුවන් කාරණයකුත් තියනව. දේශපාලනය අත් හැරල දැම්මත් එතුම තමන්ගෙ මතය අත් හැරල දැම්ම කියල නම් හිතන්න බෑ.
කුසුමා රාජරත්න මැතිණිය ක්‍රි.ව 2007 දි මිය යනව. දෙමළ ජාතිවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් වසර දෙකකට පස්සෙ කේ. ඇම්. පී රාජරත්න නම් ලංකා ඉතිහාසය තුළ වෙනස් සළකුණක් තැබූ දේශපාලන චරිතය තම ජීවන ගමන අවසන් කරනව.

රාජරත්න යුවල

Comments