රක්ත චරිත්‍ර - පළමු කොටස - ටිනොට්චිට්ලාන් හෙවත් ඇමරිකාවේ වැනීසිය

ටිනොට්චිට්ලාන් හෙවත් ඇමරිකාවේ වැනීසිය

" හර්නැන්ඩෝ කෝටේස් විසින් මෙක්සිකෝව යටත් කරගැනීම " කියන්නෙ යුරෝපයේ පුනරුදය පාඩම උගන්වන අතරෙ අහම්බෙන් මතු වෙච්ච මාතෘකාවක්.
ජලාශයක් මැද ඉදිකරල තිබ්බ ඇස්ටෙක්වරුන්ගේ අගනුවර වෙච්ච ටිනොට්චිට්ලාන් නගරය, ඒකේ හිටපු පාලකයෝ සහ පූජකවරු මිනිස් හදවත්වලින් සහ රුධිරයෙන් කරපු අමුතු ජාතියේ බිලිපූජා වගේම මෙක්සිකානු වෙරළට ගොඩබැහැපු හර්නැන්ඩෝ කෝටේස් නම් දේශගවේෂකයා විසින් ඇස්ටෙක් ශිෂ්ටාචාරය විනාශ කරපු හැටි..!
ළමයි ඇස් උඩ තියාගෙන මෙල් ගිබ්සන්ගෙ ඇපකැලිප්ටෝ චිත්‍රපටියේ සමහර සීන් බලාගෙන හිටියා..! ඊට පස්සෙ ඉවරයක් නැතුව ප්‍රශ්න අහන්නත් පටං ගත්ත.
ඒ නිසා ඇස්ටෙක් ශිෂ්ටාචාරය ගැන කොනක ඉඳල මොනව හරි ලියන්න ඕනේ කියල හිතුණා. හැබැයි ඉතිං මේක දිග කතාවක් නිසා එක පෝස්ට් එකකින් නම් ලියල ඉවර කරන්න බැරි වෙයි. ඒ නිසා කොටස් වශයෙන් ලියන්නම්.
මුලින්ම කතා කරන්න තියෙන්නේ කවුද මේ ඇස්ටෙක්වරු කියන කාරණය.

ඇමරිකාව සොයා ගත්තේ කවුද ? කියල ඇහුවොත් ඕනෙම කෙනෙක් දෙසැරයක් හිතන්නේ නැතුව උත්තර දෙනව එක්කෝ කොලොම්බස් කියල නැත්නම් ඇමරිගෝ වෙස්පුසි කියල. හැබැයි අපි එහෙම උත්තර දෙන්නේ යුරෝපීය මානසිකත්වයකින්. මොකද යුරෝපීයයන්ට සහ අපිට ඇමරිකාව අලුත් දෙයක් උනාට එහෙම මහාද්වීපයක් මේ ලෝකේ තිබ්බ ඒ කාලේ ඉඳලම. එහෙ මිනිස්සුත් හිටිය. නමුත් ඒක බාහිර ලෝකයට අනාවරණය උනේ කොලොම්බස්ල නිසා තමයි.
ඇස්ටෙක්වරු කියන්නේ මෙන්න මේ ඇමරිකා මහාද්වීපයේ ජීවත් වෙච්ච ජනකොටසක්. මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වෙලා හිටියේ භූගෝල විද්‍යාත්මකව මෙසෝ ඇමරිකාව නමින් හඳුන්වන කලාපයේ. පළවෙනි පින්තූරෙ කොළ පාටින් තියෙන්නේ අන්න ඒ ප්‍රදේශය.

ඇස්ටෙක්වරුන්ගේ ව්‍යාප්තිය
දැන් ආයෙත් ප්‍රශ්නයක් එනව..! ඇස්ටෙක්වරු දන්න කාලේ ඉඳලම මේ ප්‍රදේශයේ හිටිය ද නැත්නම් වෙන කොහෙන් හරි ඇවිත් පදිංචි උනා ද ?

ඇස්ටෙක්වරු දන්න කාලේ ඉඳල මේ ප්‍රදේශයේ හිටිය අය නෙවෙයි. ක්‍රි.ව හතරවන සියවසේදී මධ්‍යම ඇමරිකාවේ තැනින් තැනට යමින් ජීවත් වූ මෙෂීකා (Mexica) නම් ජනකොට්ඨාසයක් තමන්ට වෙනත් ගෝත්‍රවලින් එල්ල වූ තර්ජන හමුවේ මෙසෝ ඇමරිකානු ප්‍රදේශ කරා පැමිණියා. වර්තමානයේ මෙම කලාපයේ පිහිටල තියන ප්‍රමුඛතම රාජ්‍යයය තමයි මෙක්සිකෝව. මෙෂීකා සහ මෙක්සිකෝ කියන නම් දෙකත් එක ළඟින්ම යනව.
මෙෂීකා නම් ජන කොටසක් ඇවිත් පදිංචි උනා නම් සහ වර්තමානයේ එම රට මෙක්සිකෝව නමින් හඳුන්වනව නම් අපි ඇයි ඔවුන් ඇස්ටෙක් යන නාමයෙන් හඳුන්වන්නේ ?
හේතුව මේකයි.
ඇස්ටෙක්වරුන්ට ඔවුන්ගේ සම්භවය පිළිබඳ තිබෙන්නේ පුරාවෘත්ත විතරයි. උතුරු දෙසින් පිහිටා ඇති ඇසට්ලාන් ( Aztlan ) නම් ප්‍රදේශයෙන් තමන් පැමිණි බව තමයි ඇස්ටෙක්වරුන්ගේ විශ්වාසය.
ඒ අනුව ඇස්ටෙක් යන වචනයේ තේරුම ඇසට්ලාන් නම් ප්‍රදේශයෙන් පැමිණි මිනිසුන් කියන එක. ඇසට්ලාන් ප්‍රදේශයේ නැතහොත් ඔවුන්ගේ මුල් භූමියේ ගල් ගුහා හතක් තිබූ බවත් එම ප්‍රදේශවල ඇති වූ යම් යම් දේශපාලනික අරගල නිසා ඔවුන්ට මෙසෝ ඇමරිකානු ප්‍රදේශ කරා සංක්‍රමණය වීමට සිදු වූ බවත් කියැවෙනවා.
ඇස්ටෙක්වරු මෙසෝ ඇමරිකානු ප්‍රදේශවලට එද්දි පොඩි පොඩි ගෝත්‍රික කණ්ඩායම් මේ ප්‍රදේශයේ ජීවත් උනා. ඒත් ඉතාම ඉක්මනින් එයාලට වඩා බලවත් වෙන්න ඇස්ටෙක්වරුන්ට පුළුවන්කම ලැබුණා.
ටිකෙන් ටික ඔවුන් තමන්ගේ බලය වර්ධනය කර ගත්තා. ඒ අතරේ ඔවුන්ට තර්ජනයක් වෙච්ච අනිත් ගෝත්‍ර යටපත් කිරීමටත් ඔවුන්ට හැකි උනා. පොඩියට පටන් ගත්ත ඇස්ටෙක්වරු 12 සහ 13 සියවස් වෙද්දි මෙසෝ ඇමරිකානු කලාපයේ විශාල ප්‍රදේශයක බලය තහවුරු කර ගන්න සමත් උනා. පහල තියෙන්නේ ඔවුන්ගේ ව්‍යාප්තිය දැක්වෙන සිතියමක්.


හොඳට ලං වෙලා බලන්න ඒ සිතියමේ තියනව ටෙක්ස්කෝකෝ කියල ජලාශයක්. ඒක මැද ඊතලයකින් ලකුණු කරල තියනව ටිනොට්චිට්ලාන් කියල ස්ථානයක්. ඒක තමයි ඇස්ටෙක්වරුන්ගේ අගනුවර උනේ.
වර්තමාන මෙක්සිකෝවේ අගනුවර හඳුන්වන්නේ මෙක්සිකෝ සිටි කියන නමින්. අවාසනාවකට අද මේ ටෙක්ස්කෝකෝ විල දකින්න නැහැ. නමුත් මධ්‍යම මෙක්සිකෝ නගරයේ පැරණි ටිනොට්චිට්ලාන් නගරයේ නටඹුන් නම් දකින්න ලැබෙනවා. ඊලඟ පින්තූරයේ තියෙන්නෙ ඒ නටඹුන් වලින් කොටසක්.

ටිනොට්චිට්ලාන් නගරයේ නටඹුන්

ඇස්ටෙක්වරුන් මෙම නගරය තම අගනුවර වශයෙන් තෝරා ගැනීම පිළිබඳවත් රස කතාවක් තියනවා. ඒකත් කියලම ඉන්නම්.

කිසියම් දිනෙක රාජාලියෙක් විසින් පතොක් වර්ගයේ ගසක් මුදුනේ සිට සර්පයෙකු අනුභව කරනවා දුටුවොත් එම ස්ථානයේ අගනුවර නිර්මාණය කළ යුතු බවට වූ අනාගත වාක්‍යයක් ඇස්ටෙක්වරු විශ්වාස කළා ලු..! ඊලඟ පින්තූරෙ තියෙන්නෙ මෙක්සිකෝවෙ ජාතික කොඩිය. ජාතික කොඩිය මගින් නිරූපණය වෙන්නෙත් ඒ පැරැණි පුරාවෘත්තයම තමයි.


මෙක්සිකෝවේ කොඩිය

වැඩේ කියන්නේ ඒ අනාගත වාක්‍යය ඉෂ්ට වෙලා තියෙන්නේ ටෙක්ස්කෝකෝ විල මැද තිබ්බ පොඩි දූපතක දී..! ඉතිං මොනව කරන්නද? අගනුවර හදන්නම එපැයි.
අනාගත වාක්‍යය ඉෂ්ට කරන්න කියල නගරේ හදන්න පටන් ගත්තට ටිනොට්චිට්ලාන් කියන්නේ ඉතාම පොඩි දූපතක්. අනික වතුර නිසා හරියට ඉදිකිරීම් කරන්නත් අමාරුයි. ඒත් ඇස්ටෙක්වරු වැඩේ අත් අරින්නෙ නෑ. දූපත වටේට ලී වලින් බාධක එහෙම හදල, ඒවට පස් ගෙනල්ල පුරවල ලොකු දුකක් විඳල අන්තිමට විල මැද ලොකු නගරයක් නිර්මාණය කර ගන්නව ක්‍රි.ව 1325 දී විතර.

ඇස්ටෙක්වරුන්ගේ ටිනොට්චිට්ලාන් නගරය

මේ නගරය කොච්චර හොඳට නිර්මාණය කරල තිබුනද කියනව නම් යුරෝපේ ඉඳල ආපු හර්නැන්ඩෝ කෝටෙස් ටිනොට්චිට්ලාන් දැකල විස්මයට පත් උනා ලු..!
ලස්සන වගේම හොඳ හොඳ වැඩත් මේ නගරේ ඇතුලේ සිද්ධ උනා. මගේ පංති වල සමහර ගෑණු ළමයි ඇස් වහ ගත්ත ඒ හොඳ හොඳ සිද්ධි බලද්දි...!!
ඒ ගැනත් කියවන්න කැමති නම් පහල තියන ලින්ක් එක ක්ලික් කරන්න.

Comments

Post a Comment