බදුලු වැවේ ඇත්ත කතාව

වර්තමාන බදුල්ල මහ නගර සභාවෙ කුණු කන්ද ගොඩ ගහල තියන තැන ඉස්සර තිබ්බෙ පොඩි වැවක් කියන එක දැන් හැමෝම දන්න දෙයක් නෙ. හැබැයි ඒ වැවේ ස්වරූපය සහ ඉතිහාසය ගැන කියන කතාවලින් බහුතරයක්ම අමු බොරු වලින් තමයි පිරිල තියෙන්නෙ.

මොනව ද ඒ බොරු...?
" ඉස්සර මුළු බදුල්ලෙන්ම වැඩි හරියක් යටවෙලා තිබිල තියෙන්නෙ වැවෙන් ලු....! "
" දුන්හිඳ ළඟ තිබ්බ පුස් වැලක් නිසාලු එහෙම වතුර එකතු වෙලා තිබ්බෙ....? "
" ඒ පුස් වැල කපල දාපු එක්කෙනා වතුර පාරත් එක්කම ගහගෙන ගිහිල්ල මැරුණ ලු....! "
" ඉස්සර කුමාරසිංහ කුමාරයා මුතියංගනේ වඳින්න එන්නෙ වැව හරහා බෝට්ටුවකින් ලු....! "
හැබැයි ඇත්ත කතාව ඊට වඩා වෙනස්.
ඉංග්‍රීසි පාලකයො එන කාලෙ වෙනකොටත් වර්තමාන බන්ධනාගාරය පිහිටල තියන ස්ථානයේ යම් ඉදිකිරීමක් තිබ්බ. ඒ තමයි රාජකීය ධාන්‍යාගාරය. එතන ඉඳළ පහලට තිබ්බ සම්පූර්ණ භූමියම වෙන් වෙලා තිබ්බෙ ගබඩාගමක් එහෙමත් නැත්නම් රජ වාසල පරිභෝජනය සඳහා වෙන්වූ විශාල කුඹුරු යායකට.
1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ වතු වගාව දියුණු කරන්න රජයේ අනුග්‍රහය ලැබෙනව. යුරෝපීය වැවිලිකරුවො එකා දෙන්න ඇවිල්ල බදුල්ලෙ මුලින්ම වගා කරන්න පටන් ගත්ත. කෝපි තමයි මුල්ම වෙළඳ බෝගය.
හෙමින් හෙමින් කාලය ගෙවිල යනව.
හෙමලියා වැස්ට්‍රාටික්ස් කියල දිලීර රෝගයක් හැදිච්ච නිසා ලංකාවෙ වගෙම බදුල්ලෙත් කෝපි වගාව අසාර්ථක වෙනව. ඊට පස්සෙ කොකෝවා වගා කරන්න පටන් ගන්නව. ඒකත් සාර්ථක වෙන්නෙ නෑ. ඒත් කෝපිවත්ත පාර, කොකෝවත්ත පාර වගේ මාර්ග නාම නම් තවමත් ඉතුරු වෙලා තියනව.
ජේම්ස් ටේලර් විසින් 1871 දි ලූල්කඳුර වතු යායෙදි ඉතාම සාර්ථකව තේ වගාව අත්හදා බැලුවට පස්සෙ තමයි බදුල්ලෙ ඉරණම තීරණාත්මකව වෙනස් වෙන්න පටන් ගන්නෙ.
කෝපි වතු සහ කොකෝව වතු ආදිය ඉතාම ඉක්මනින් තේ වතු බවට රූපාන්තරණය වෙනව. තේ දල්ලේ වාසනාව හොයාගෙන යුරෝපීය ව්‍යවසායකයො වැල නොකැඩී බදුල්ලට එනව.
උත්සාහවන්තකම නිසාම වාසනාවෙ දොර ඇරගන්න එයාලට පුලුවන් වෙනව. උතුරන්න සල්ලිත් ලැබෙනව.
එයාලගෙ සතුට විනෝදය වෙනුවෙන් තමයි වර්තමාන සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව තියන ස්ථානයේ Uva Club හෙවත් ඌව සමාජය පිහිටුවා ගන්නෙ. ඌව සමාජයේ වැඩ කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යන අතරවාරයෙ ඒක ඌව ජිම්කානා සමාජයට අනුබද්ධ කරල තවත් වැඩි දියුණු කරන්න ඉංග්‍රීසි පාලකයො කටයුතු කරනව.
රගර් සහ ක්‍රිකට් වලට තමයි මුලින්ම ප්‍රමුඛතාවය ලැබුණෙ. Uva RFC හෙවත් ඌව රගර් සමාජය බිහි උනේ ක්‍රි.ව 1880 දි.
වැඩේ කොච්චර නැගල ගියාද කියනව නම් ටික කාලයක් යනකොට අශ්ව රේස් පැවැත්වීම ගැනත් ඌව ජිම්කානා සමාජයේ අවධානය යොමුවෙනව. ක්‍රි.ව 1889 දි, කලින් තිබ්බ කුඹුරු යාය ගොඩ කරල තුරඟ තරඟ පැවැත්වීම සඳහා ධාවන පථයක් නිර්මාණය කරන්න තීරණය වෙන්නෙ ඒ නිසා. රේස් කෝස් එක තවත් ලස්සන කරන්න තමයි ඒක මැද පොඩි වැවක් හදන්නෙ.

ඇත්තටම කිව්වොත් ඒක වැවක් නෙවෙයි. වතුර පිරිච්ච පොඩි භූමියක් විතරයි.

මේ වැඩකටයුතු සියල්ලම අවසන් වෙන්නෙ ක්‍රි.ව 1890 දි. පහල ඡායාරූපයේ තියන ප්‍රේක්ෂකාගාරය නිර්මාණය වෙන්නෙත් ඒ කාලෙම තමයි.බදුල්ල මහ ඉස්පිරිතාලෙ පැත්තෙ ඉඳල ගලපු පොඩි ඇල පාරකින් තමයිවැවට වතුර ගන්නෙ. වර්තමාන නගර සභා අංගනය ( Yard ) තියන ස්ථානයේ තිබ්බ නලයක් හරහා තමයි වැවේ වැඩි වතුර බදුලු ඔයට මුදා හැරුනෙ.


ඉංග්‍රීසිකාරයො ගියාට පස්සෙ අශ්ව රේස් ගැන තියන උනන්දුව ටික ටික අඩු වෙලා ගියා. වැව සහ රේස් කෝස් භූමියේ සුන්දරත්වය නගරයේ ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා භාවිත කළ හැකි වටිනා සම්පතක් කියන එක නගරෙ මිනිස්සුන්ට අමතක උනා.
1960 දි තරමක බරපතල මදුරු වසංගතයකට මුහුණ දෙන්න නගර වැසියන්ට සිද්ද උනා. ඒකට ප්‍රධාන සැකකාරය උනේ වැව.
ඒ නිසා තමයි එතකොට හිටපු නගර සභාවෙ සභිකයො එකතු වෙලා වැව ගොඩ කරන්න තීරණය කරන්නෙ.

Comments