රක්ත චරිත්‍ර - දෙවන කොටස - දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අද කතා කරන්න තියෙන්නේ ඇස්ටෙක්වරුන්ගේ අමුතු ජාතියේ බිලිපූජා ක්‍රම ගැන.
හැමෝටම මතක ඇති ඇපකැලිප්ටෝ චිත්‍රපටිය. ඇස්ටෙක්වරුන්ගේ බිලිපූජා ක්‍රම වගේම ජන ජීවිතය ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ චිත්‍රපටියේ තියන යම් යම් දර්ශන වලින්. යූ ටියුබ් එකෙත් ඒ බිලි පූජා කරන අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක් තිබ්බා. ඒකත් බලලම හිටියනම් හොඳයි. හැබැයි ඉතිං අධි සංවේදී අය ඉන්නව නම් නොබලන එක තමයි වඩාත් ඇඟට ගුණ.
මිනිස්සු ආගමක් බිහිකරගන්නේ හේතු ගොඩක් නිසා.
සූර්යයා කියන්නේ මොකක්ද ? හඳ තරු කියන්නේ මොනවද ? කොහොමද රෑ දවල් ඇති වෙන්නේ ? අකුණු ගහන්නේ ඇයි ? මැරුණට පස්සේ වෙන්නේ මොනවද ?
විද්‍යාව දියුණු නිසා අද දවසේ මේ ප්‍රශ්නවලට උත්තර තියනව. ඒ නිසා අපි ඉරට වඳින්නේ නෑ. හැබැයි වඳින අය තවමත් ඉන්නව. ඒක එයාලගේ කැමැත්ත සහ විශ්වාසය.
ඇස්ටෙක්වරු අතරත් තිබ්බ විවිධ විශ්වාසයන්. ඇත්තම කියනව නම් මේව ඇස්ටෙක්වරුන් විසින් නිර්මාණය කරපු දේවල්මත් නෙවෙයි. ඊට කලින් තිබ්බ ඇමරිකානු ශිෂ්ටාචාරවලත් මේ හා සමාන විශ්වාසයන් තිබ්බ. ඒ උදෙසා කරපු බිලිපූජා ක්‍රම එහෙමත් තිබ්බ. ඇස්ටෙක්වරු කළේ ඒව ඉදිරියට පවත්වා ගෙන ගිය එක තමයි.
ඇස්ටෙක්වරුන්ගේ වන්දනාවට පාත්‍ර වෙච්ච දෙවිවරුන් විශාල ප්‍රමාණයක් හිටියා.
බොහොම කෙටියෙන් ඒ ඒ දෙවිවරු කිහිප දෙනෙක් පිළිබඳ විස්තරයක් කරන්නම්. එයාලගේ නම් සිංහලෙන් ලියන්න ගියාම දිව පැටලෙන නිසා ඉංග්‍රීසියෙන්ම ලියල තියන්නම්..
ඒ ගමන්ම මෙන්න මෙහෙම කාරණේකුත් මතක් කරන්න ඕන, මේ පහල ඉන්න දෙවිවරු තුන් දෙනාම විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වගේ එකම දෙවියෙකුගේ යම් යම් ස්වරූපයන් හැටියට තමයි හඳුන්වන්න වෙන්නෙ. කාලානුරූපව එක් එක් අය ඉස්මතු වීම වගේම යට යෑමත් සිද්ද උනා.
Quetzalcoatl හෙවත් Kukulkan

Quetzalcoatl

ඇස්ටෙක් දේව මණ්ඩලයේ හිටපු වැදගත්ම දෙවිවරුන් අතරින් එක්කෙනෙක් තමයි Quetzalcoatl. මෙයා පිළිබඳ විශ්වාසය ගොඩ නැඟුනේ ක්‍රි.ව 400 තරම් ඈත යුගයක කියල තමයි ඉතිහාසඥයන් ප්‍රකාශ කරන්නේ. Quetzalcoatl කියන නමේ තේරුම පිහාටු සහිත සර්පයා කියන එක. ඒ වගේම මෙයාව හඳුන්වන්න භාවිතා කරල තියන Kukulkan කියන නම මායාවරුන් විසින් භාවිතා කරපු එකක්.
දැනුමට, සරුසාර අස්වැන්නට ,උදෑසනට වගේම සුළඟට සහ ආලෝකයට අධිපති ලෙස සැලකුම් ලැබුවේ Quetzalcoatl.
කොහොම හරි Quetzalcoatl කියන්නේ දකුණු ඇමරිකානු කලාපයේ ඇදහීමට පටන් ගත් පැරණිතම දෙවි කෙනෙක් කියන එක මතක තියා ගන්න.

Tlaloc

Tlaloc

මෙයත් ටිකක් ජනප්‍රිය දෙවි කෙනෙක්. වර්ෂාවට අධිපති දෙවියන් හැටියට ගෞරවයට පාත්‍ර වෙලා හිටියා. ඊට අමතරව සරුසාර බව, අහසේ ගිගුරුම් ශබ්ද වගේම අකුණු සම්බන්දයෙනුත් වන්දනාවට පාත්‍ර උනා.
Huitzilopotchli
ඇස්ටෙක් ශිෂ්ටාචාරය ගැන කතා කරද්දි මෙයා ගැන කතා නොකරම බෑ. ඇස්ටෙක්වරු සාමාන්‍යයෙන් Quetzalcoatl හෙවත් Kukulkan ට වන්දනාමාන කළා තමයි. ඒත් යුරෝපීයයන් පැමිණෙන කාලේ වෙනකොට ඇස්ටෙක්වරු එහෙමත් නැත්නම් මෙෂීකා ජනතාව අතර ප්‍රමුඛතාවයට පත් වෙලා හිටියේ Huitzilopotchli.

Huitzilopotchli

ඇස්ටෙක්වාසීන් අතර සූර්ය දෙවියා ලෙස ගෞරවයට පාත්ර උනේ Huitzilopotchli. ඒ වගේම යුද්ධයට සහ මානව කැපකිරීම් වලට අධිපති උනෙත් Huitzilopotchliම තමයි. ඒ විතරක් නෙවෙයි ටිනොට්චිට්ලාන් නගරයේ ඉදිකරල තිබ්බ විශාල පිරමීඩය එහෙමත් නැත්නම් මායර් පන්සල නමින් හඳුන්වනු ලබන දේවස්ථානය කැප කරල තිබ්බෙත් Huitzilopotchli ගේ නමට.
නෑ නෑ පොඩ්ඩක් වැරදුනා..! මෙතන නිවුන් දේවස්ථාන දෙකක් තියනවා. ඒකෙන් උතුරු පැත්තේ එක Tlaloc ට.දකුණු පැත්තේ එක Huitzilopotchli ට.

ඊළඟට තියෙන්නෙ තියෙන්නේ මායර් දේවස්ථානයේ ඡායාරූපයක්. අර ඇපකැලිප්ටෝ චිත්‍රපටියේ තියෙන්නෙත් ඒකම තමයි.

මායර් දේවස්ථානයේ ඡායාරූපයක්

තව දෙවිවරු ගොඩක් හිටියා. ඒත් දැනට මේ අය විතරක් මතක තියා ගන්න. නැත්නම් මේ මුලු පෝස්ට් එකෙන්ම කරන්න වෙන්නේ දෙවිවරු ගැන කතා කරන්න විතරයි.
ඇස්ටෙක්වරු කියන්නේ දෙවියන් පිළිබඳ විශාල ගෞරවයක් සහ බයක් දක්වපු ජනකොටසක්. ගෞරවය සහ භක්තිය වැඩි වෙනකොට කොතනත් කරන්නේ පුද පූජා පවත්වන එකනේ. ඉතිං ඇස්ටෙක්වරු බිලි පූජා එහෙම පවත්වල කළෙත් එහෙම පුද පූජා පැවැත්වීමක් තමයි. තමන් කරණ වැඩේ සාධාරණීකරණය කරගන්න එයාල විසින්ම හදාගත් හෝ අනාදිමත් කාලෙක ඉඳල පැවත එන විශ්වාස පද්ධතියකුත් තිබ්බ. උදාහරණ කීපයක් කියන්නම්.

'ජීවිතය අපට ලැබී ඇත්තේ දෙවියන් කළ කැපකිරීම් නිසාවෙනි. අපට ජීවිතය ලබා දුන්නේ ඔවුන්ය. ආහාර පාන ලබා දෙමින් අපව පෝෂණය කරන්නේ ද ඔවුහු ය.'
උඩින් දක්වල තියෙන්නේ ඇස්ටෙක්වරුන් දෙවියන් සම්බන්ධයෙන් දරපු ආකල්පය පිළිබඳව ලියවෙච්ච සංකල්පනාවක්.
ඇස්ටෙක්වරුන්ගේ කාලේ " ලේ " කියල කියන්නේ බොහොම සාමාන්ය දෙයක්.
සූර්යයා දවස පුරාම ගමන් කරනවා. ඒ ගමනේ දී සූර්ය දෙවියන්ට ඇතිවන පිපාසය ඇස්ටෙක්වරුන් විසින් තෘප්තිමත් කළ යුතු බව තමයි ඔවුන්ගේ විශ්වාසය උනේ..! ඒ නිසා ඔවුන් මිනිස් බිලි පූජා පැවැත්වීමට කටයුතු කළා. බොහෝ විට සිදු උනේ යුද්ධ වලදී සිරකරුවන් ලෙස අල්ලාගත් මිනිසුන් දෙවියන්ට පූජා කිරීම උනත් සමහර අවථාවලදී සමහර ඇස්ටෙක්වරුන් තම කැමැත්තෙන්ම මෙම චාරිත්‍රය සඳහා සහභාගී වූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම ජීවිතය පූජා නොකරපු තවත් අය ශරීරයේ තැන තැන කපාගෙන ලේ වගුරමින් දෙවියන් ඉදිරියේ තම භක්තිය ප්‍රකාශ කරන්නත් කටයුතු කළා.

එහෙනම් මොකටද අර මිනිස්සු මරල හදවත එලියට අරගෙන අහස දිහාට හරවල මොනවද මොනවද කියවන්නේ..?
ඒකටත් උත්තරයක් තියනව. ඇස්ටෙක්වරු විශ්වාස කළා මිනිස්සු කියල කියන්නේ දිව්‍යමය සූර්යයා ගේ කොටසක් කියල. සූර්යයා සහ මිනිසා සම්බන්ධ වෙන්නේ හදවත මගින්. රවුම්, උණුසුම් සහ ස්පන්දනය වෙන හදවත කියල කියන්නේ මිනිසා විසින් හිරකරගෙන ඉන්න දෙවියන්ට අහිමි වූ කොටසක්.

දෙයියන්ගේ දේ දෙයියන්ට දෙන්න එපැයි ඉතිං..!
මේ ගමන්ම තවත් දෙයක් කියන්න ඕන.
Huitzilopotchli හා Quetzalcoatl වැනි දෙවිවරුන්ට පූජා කළේ තරුණ පිරිමි අය. නමුත් වර්ෂාව ලැබෙන්න කියල Tlaloc ට පුද පූජා පවත්වපු අය ඒ සඳහා තෝරා ගත්තේ වයස අවුරුදු 5 ත් 6 ත් අතර ළමයින්.
බිලි දෙන වෙලාවේ දී ළමයින් අඬන කොට ඒ කඳුළු වැසි දෙවියන්ට උත්ප්‍රේරකයක් විය හැකි බව ඔවුන් විශ්වාස කළා.

Comments