රක්ත චරිත්‍ර - හයවන කොටස - මොන්ටෙසුමාගේ මරණය
මොන්ටෙසුමාගේ මරණය
මොන්ටෙසුමා අධිරාජයා ප්‍රාණ ඇපකරුවෙක් කරගැනීම මගින් ටිනොට්චිට්ලාන් නගරය ඇතුලු සමස්ත ඇස්ටෙක් රාජධානියම පාලනය කිරීමට අවශ්‍ය පරිසරය කෝටේස් ඉදිරියෙ නිර්මාණය වෙල තිබ්බ බව පහුගිය ලිපියෙන් කතා කළා.
එහෙනම් මොකක්ද මේ අලුත් අභියෝගය..?
හිස්පැනියෝලාවෙ සහ කියුබාවෙ ආණ්ඩුකාරය වෙච්ච වැලෙස්කෝ මතක ද..? මිනිහ කොහොමත් කෝටේස් විසින් අලුත් ප්‍රදේශයක් අත්පත් කරගැනීම ගැන කැමැත්තකින් නෙවෙයි හිටියෙ. නැව් කණ්ඩායමක් සහ පිරිස අරගෙන කෝටේස් යුකටාන් වෙරළට ගොඩ බැස්සෙ වැලෙස්කෝගෙන් අවසර ගන්නෙත් නැතුව නෙ. ඊට පස්සෙ කෝටේස් කෙලින්ම ස්පාඥ්ඥ රජතුමත් එක්ක ඩීල් ගහන්න පටන් ගත්ත.
නමුත් ස්පාඥ්ඥෙ රජතුමා කට්ටය. වැලෙස්කෝවත් යාප්පුවෙන් තියාගන්න ඕන. මෙච්චර සේවයක් කරල තියෙද්දි උනත් කෝටේස්ට අත්පත් කරගත් අලුත් ප්‍රදේශවල ආණ්ඩුකාර තනතුර නොදී තියාගෙන හිටියෙත් ඒ හින්ද වෙන්න ඇති.
අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත වැලෙස්කෝ හිතුවක්කාර වැඩ සහ දඩබ්බරකම ගැන ප්‍රසිද්ධියක් උසුලපු පැන්ෆිලෝ ඩි නර්වේස් යටතේ 1100 සේනාංකයක් මෙක්සිකෝවට එවීමට කටයුතු කරනව.
ටිනොට්චිට්ලාන්වල පාලනය තමන්ට ඉතාම හිතවත්ව කටයුතු කරපු ලුතිනන් පෙද්රෝ ඩි අල්වරාදෝට භාරදීල 200ක පමණ ඉතා සුලු භට කණ්ඩායමක් විතරක් අරගෙන නර්වේස් පරාජය කිරීම සඳහා පිටත්ව යන්න කෝටේස්ට සිද්ද වෙනව.
මාසයක් වගේ කාලයක් ඇතුළත නර්වේස් පරාජය කිරීමටත් ඔහුගේ සෙබලුන් තමන්ට අවනත කරගැනීමටත් කෝටේස්ට හැකියාව ලැබුන උනත් ටිනොට්චිට්ලාන්වලින් ලැබෙන ඉතාම නරක ආරංචියක් නිසා නැවත ටිනොට්චිට්ලාන් නගරය කරා හමුදා මෙහෙයවන්න ඔහුට සිදුවෙනව.
යනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
කෝටේස්ගෙ පිටත්වීමෙන් පස්සෙ Toxcatl උත්සවය පැවැත්වීම සඳහා මොන්ටෙසුමා අල්වරාදෝගෙ අවසරය ඉල්ලා හිටිනව. මේ සඳහා අල්වරාදෝගෙ අවසරය ලැබුනත් ඒ දීපු අවසරය ගැන අල්වරාදෝටම උනත් එච්චර විශ්වාසයක් තිබ්බෙ නෑ. පරණ බිලි පූජා චාරිත්‍ර ගැන ඉතාම අවධානයෙන් හිටපු අනිත් ස්පාඥ්ඥ ජාතිකයන් තුල උනත් ඒ උත්සවය ගැන තිබ්බෙ බයක් විතරයි. එක අතකට නන්නාඳුනන මිනිස්සු ලක්ෂ ගාණක් මැද ඉතා කුඩා පිරිසක් එක්ක තනි වෙලා ඉන්න හමුදාවක් තුළ එහෙම හැඟීමක් ඇතිවෙන එකත් සාධාරණයි.
උත්සවයට සූදානම් වන මිනිසුන් අධිරාජයාගෙ නියෝග මත කුමන හෝ මොහොතක තමන් වෙත කඩා පනිනු ඇතැයි යන සැකය, ඇස්ටෙක්වරුන්ගේ බෙර වලින් නැගුනු ශබ්ධ නිසා තව තවත් තීව්‍ර වෙනව. නොසිතූ මොහොතක මායර් දේවස්ථානය වෙත කඩා වැදිල ඔවුන් සියල්ල ඝාතනය කිරීමට අල්වරාදෝ තම සේනාවන් මෙහෙයවන්නෙ ඒ නිසා කියල තමයි ස්පාඥ්ඥයන් නම් කියන්නෙ.
උත්සවයට සහභාගී වීම සඳහා ඇස්ටෙක්වරුන් විසින් පැළඳගෙන ආපු වටිනා ආභරණ කොල්ල කා ගැනීම සඳහා අල්වරාදෝ විසින් කිසිම පූර්ව දනුම් දීමකින් තොරව නිරායුද මිනිසුන් වෙත සේනා මෙහෙයවපු බව තමයි දේශීය ජනතාවගෙ පැත්තෙන් මතු වෙච්ච කාරණය.
චොලූල නගර වැසියන්ට අත් වෙච්ච ඉරණමම ටිනොට්චිට්ලාන් වැසියන්ටත් අත් විඳින්න සිදු වෙනව. ' අල්වරාදෝ සංහාරය ' කියන්නෙත් ඒ සිදුවීමටම තමයි.
ඒ අතරෙදි තමයි තමයි කෝටේස් නැවත එන්නෙ. අල්වරාදෝ සංහාරය හේතුවෙන් මේ වෙනකොට ඇස්ටෙක් ජනතාව නොසන්සුන්භාවයට පත් වෙලා හිටියෙ.
කෝපයට පත් වෙච්ච ජනතාව සන්සුන් කිරීම සඳහා මේ වෙනකොට කෝටේස් සතුව තියන එකම අවිය මොන්ටෙසුමා අධිරාජය විතරයි. ජනතාව සන්සුන් කරවන ලෙස ස්පාඥ්ඥයන්ගෙන් ඔහුට දැඩි බලපෑමක් එල්ල වෙනව.
ඇස්ටෙක්වරුන්ට අනුව නම් අධිරාජයා කියන්නෙ දෙවියෙක්. ඔහු දිහා කෙලින් බලන්නවත් මිනිස්සුන්ට අයිතියක් තිබ්බෙ නැහැ. ඒත් මේ වෙනකොට මිනිස්සු අතර ඔහු ගැන තිබිච්ච විශ්වාසය හොඳටම බිඳ වැටිල තිබ්බෙ. ජනතාව ඉදිරියට යන මොන්ටෙසුමා අධිරාජයාට තමන්ගෙම මිනිස්සු විසින්ම එල්ල කරපු ගල් පාරක් වැදිල මරණයට පත් වෙන්න සිද්ද වෙනව. මේ ඝාතනය ගැන වගකියන්න ඕන කවුද කියන එක ගැනත් ඉතිහාසඥයන් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. සමහරු නම් කියන්නෙ මේ ඝාතනයට වගකියන්න ඕනෙත් ස්පාඥ්ඥයන් කියලම තමයි. ඒත් ඒක එහෙම උනා කියල හිතන්න අමාරුයි. තමන්ගෙ අතේ තිබ්බ අන්තිම තුරුම්පුව ඒ විදිහට නිරපරාදෙ නැති කරගන්න එයාල ඉක්මන් උනා කියල හිතන්න බැහැ. මේ සිදුවීම හා සම්බන්ධ සිතුවමක් පහල තියනව.
අධිරාජයාගෙ මරණයෙන් පස්සෙ ටිනොට්චිට්ලාන් නගරය තවදුරටත් කෝටේස් ඇතුලු පිරිසට ආරක්ෂිත ප්‍රදේශයක් වෙන්නෙ නැහැ. ඒ අනුව කොල්ලකාගත් වස්තුව ද සහිතව ඉතාම ඉක්මනින් ට්ලැට්ස්කාලා නගරය වෙත පසුබැසිය යුතු බව කෝටේස් කල්පනා කරනව.
ඒ හා සම්බන්ධ විජයග්‍රහණයේ රාත්‍රිය ගැන ඊලඟ ලිපියෙන් කතා කරමු.
Comments
Post a Comment