උපාය දන්නෝ අපායෙ නොවැටෙති....!

කාවන්තිස්ස රජතුමාගෙ කාලෙ මහවැලි ගඟෙන් දකුණු පැත්තෙ සේරු නුවර, සෝම නුවර සහ ලෝණ නුවර කියල ප්‍රදේශ තුනක් තිබ්බ. මේව පාලනය කලෙ සිව, අභය සහ මහානාග කියන ප්‍රාදේශීය වශයෙන් බලවත් වෙලා හිටපු පාලකයො තුන් දෙනෙක්.

සේරු නුවර කියන්නෙ වර්තමාන සේරුවාවිලම තමයි. සෝම නුවර කියන්නෙ සෝමාවතිය ආශ්‍රිත ප්‍රදේශය. ලෝණ නුවර කියන්නෙ ලුණුගල වෙන්න පුලුවන්.
එහෙන් එළාර. මෙහෙන් කාවන්තිස්ස. සිව, අභය සහ මහානාග කියන පාලකයො තුන්දෙනාට කාටවත් බය වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ.
එළාර යුද්දෙට ආවොත්, කාවන්තිස්ස ඉන්නව උදව්වට. කාවන්තිස්ස යුද්දෙට ආවොත්, එළාර ඉන්නව උදව්වට.
ඒත් අනුරාධපුරේ යටත් කරගන්න ඕනනම් කාවන්තිස්සට මේ තුන්දෙනාම ඕන. හැබැයි යුද්ද කරන්න ගියොත් එළාරට වාසියි. කාරණේ පැහැදිලි කරල දීල කැමති කරගන්න හැකියාවකුත් නැත්නම් මොකද කරන්නෙ....?
විහාරමහාදේවිගෙ බෑණා කෙනෙක් ඉන්නව. මහණ වෙලා හිටියෙ. නම චුල්ල පිණ්ඩපාතික තිස්ස.
බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කරවල රුහුණේ රජෙක් විසින් මහවැලි ගඟ සමීපයේ දාගැබක් හැදීමට නියමිත වෙලා තියන බව දැක්වෙන අනාගත වාක්‍යයක් තියනව කියල උන්වහන්සේ ලව්ව ප්‍රචාරය කරවන්න කාවන්තිස්ස රජතුමා පියවර ගන්නව.
ඇත්තටම මෙහෙම කතාවක් තිබ්බ වෙන්නත් පුලුවන්. නැත්නම් රජතුමයි චුල්ල පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවොයි එකතු වෙලා එහෙම එකක් හැදුව වෙන්නත් පුලුවන්. කොහොම උනත් ඒක නියම සැලසුමක්.

ඊට පස්සෙ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සිව්වනක් පිරිසයි සිව්රඟ සේනාවයි පිරිවරාගෙන කාවන්තිස්ස රජතුමා සේරු නුවරට පිටත් වෙනව. යුද්දෙකට ලෑස්ති පිට ඉන්න කියල ගැමුණු කුමාරයව මාගම සහ සද්ධාතිස්ස කුමාරයව දිගාමඩුල්ලෙ නතර කරවල තමයි යන්නෙ.

සිව, අභය සහ මහානාග ඉදිරියෙ විකල්පයක් ඉතුරු වෙන්නෙ නැහැ. යුද්ද කලත් ඉවරයි. නැතත් ඉවරයි..!

ඒ සිදුවීමෙන් පස්සෙ මහවැලි ගඟෙන් පහල කොටසේ බලය තහවුරු කර ගන්න කාවන්තිස්ස රජතුමාට හැකියාව ලැබෙනව. කාවන්තිස්ස රජතුමා විසින් ඇතිකරපු ඒ දේශපාලන ස්ථාවරත්වය, දුටු ගැමුණු කුමාරයට අනුරාධපුරයේ බලය තහවුරු කර ගන්න බොහොම ප්‍රයෝජනවත් වෙනව.

සේරුවාවිල


Comments